brand logo

ඔන්ලයින් අවුරුදු උත්සවයට සූදානම්

10 April 2021

රන්වල බළකාය අලුත් අවුරුද්දට කරළියට නැතුවම බැරි පිරිසකි. දේශීයත්වයට අගයක් වටිනාකමක් ලබාදීමට කැපවෙන ජන ගීයට නවමු අගයක් එක්කිරීමට මහන්සි වෙන රන්වල බලකායේ කොඳු නාරටිය වුණ සහන් රන්වල අලුත් අවුරුද්දට ලක ලැහැස්ති වෙන ආකාරය පවසමින් අපේ කතාබහ ආරම්භ කළේ මෙලෙසයි. අපි හිතුවේ මෙවරත් අලුත් අවුරුදු වැඩසටහන් නැති වෙයි කියලා. නමුත් අපි හිතුවේවත් නැති තරමට අලුත් අවුරුදු වැඩසටහන් විශාල ප්‍රමාණයකට අපිට ආරාධනා ලැබුණා. කොරෝනා තත්ත්වය නිසා සෞඛ්‍යාරක්ෂිත තත්ත්වයන් තියාගෙන ඒ සියලුම රූපවාහිනි, ගුවන්විදුලි වැඩසටහන්වලට අපි සම්බන්ධ වෙනවා. කොරෝනා තත්ත්වය නිසාවෙන් online ආකෘතියක් යටතේ බොහෝ කාර්යන් සංවිධානය වෙද්දි රන්වල බලකායත් online ආකෘතිය තුළින් අලුත් අවුරුද්ද ලෝකෙට ගෙනියන්න සූදානම් වන බවත් අපට දැනගන්නට ලැබුණි. මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් online අවුරුදු සංදර්ශන දෙකක් පවත්වන්නත් අපි කටයුතු සූදානම් කරලා තියෙනවා.සාමාන්‍යයෙන් වෙනත් වසරවල අලුත් අවුරුද්දට අපි විදෙස් රටවලට යනවා අලුත් අවුරුදු වැඩසටහන් කරන්න. නමුත් මෙවර එහෙම යන්න බැරි නිසා ප්‍රථම වතාවට අවුරුදු වැඩසටහන් online පවත්වන්න සැලසුම් කළා. කැනඩාවෙ කැල්ගරිවලටත්, දෝහා කටාර්වල සිතුල එෆ්.එම්. අවුරුදු වැඩසටහනටත් තමයි අපි මේ විදිහට සූදානම් වෙන්නේ. මීට පෙර අපි පසුගිය නිදහස් උළෙල වෙනුවෙන් සංදර්ශන ද්විත්වයක් online පැවැත්වූවා. ලෝකේ දැන් තියෙන තත්ත්වයේ හැටියට මුහුණ දෙමින් ඒ විදිහට අපිට ලෝකයට අවුරුදු සැමරුම් අරන් යන්න සිදු වෙනවා. සිය පියාගේ අඩිපාර මත ‍යමින් දේශීය කලාව රැකගැනීමට උරදරන සහන් සිය පියාගේ නිර්මාණවලින් පරිබාහිර නවමු නිර්මාණ කිහිපයක්ද රසිකයන් අතරට ගෙන ඒමට සූදානම් වී සීටී.

තාත්තගේ ගීතවලට අමතරව අලුත් ගීත 150ක් කළා

තාත්තාගේ ගීතවලට අමතරව අපි මේ වෙනකොට අලුත් ගීත 150කට වැඩි ප්‍රමාණයක් එළි දක්වලා තියෙනවා. මෙවර අලුත් අවුරුද්දටත් අලුත් ගීත දෙකක් එළිදක්වනවා. මගේ තාත්තා ලයනල් රන්වල නිර්මාණය කළ 90 දශකයේ මුල් භාගයේ දරුවන් අතර ජනප්‍රිය ගීතයක් තමයි රබානේ කියන්නේ. එය අපි නැවැත පටිගත කළා. ඒ වගේම මගේ පුතා වෙනුවෙන් සද්ද විද්ද අන්දරේ පුතා කියලා ගීතයක් නිර්මාණය කළා. ලංකාවේ ජනකතා ගැන තමයි ඒ ගීතයෙන් අවධානය යොමු කරලා තියෙන්නේ.

ලෝකේ ඉන්න හැම ළමයෙක්ටම ඊ පාසල හරහා එක යදමකින් බඳිනවා

අලුත් අවුරුද්ද තවත් අලුත් වැඩ කටයුත්තක් වෙනුවෙනුත් සහන්ගේ අවධානය යොමුවී තිබේ. ලංකාව පුරා ලෝකය පුරා විසිරී සිටින දුවා දරුවන් එකම යදමකින් බන්ධනය කරන ඒ නැවුම් කටයුත්ත ගැන සහන් මතක් කළේය. අලුත් අවුරුද්ද වෙනුවෙන් අපි ආරම්භ කළ විශේෂම කටයුත්ත තමයි ලංකා ඊ පාසල. මේක අපි කාලයක් තිස්සේ කල්පනා කරමින් හිටපු වැඩක්. ලෝකය පුරා ලංකාව පුරා ඉන්න දරුවෝ එකම පවුලක නෑදෑයෝ බවට පත් කරන ලංකා ඊ පාසල තුළින් ලංකාවේ සංස්කෘතිය හඳුනාගන්න පුළුවන්. ඔවුනොවුන් අතර අන්තර් සබඳතාවය ඇති කරන්න පුළුවන්. ඔවුන්ගේ නිර්මාණ පළ කරන්න, අදහස් පළ කරන්න, ලංකාවෙ සංස්කෘතිය ගැන සොයාගන්න දේවල් පළ කරන්න, මේ හරහා හැකි වෙනවා වගේම අපේ දරුවෝ අතර ලෝකය පුරා සම්බන්ධතා ජාලයක් ඇතිවී, සහජීවනයක්, හිතවත්කමක් ඇති වෙනවා.තව අවුරුදු ගාණකින් මේ දරුවෝ කොයි රටකට ගියත් ඒ දරුවන්ට අනෙක් රටවලත් යාළුවෝ ඉන්නවා. කලාව සංස්කෘතිය හරහා තනි නොතනිය නැති කරන ආදරය ඇති කරන වැඩක් තමයි මේ ඊ පාසලෙන් කෙරෙන්නේ.

දේශීය දේ කරන අය දුප්පත්ව සිටිය යුතු නෑ

දේශීයත්වයට ඇතැමුන් අඩු අගයක් ලබා දෙන පසුබිමක අගය රඳවාගෙන දේශීයත්වය ඉහළ තැනකට ඔසවා තැබීමත් භාරධුර කාර්යකි. දේශීය දේ කරනවා කියලා ඒ අය දුප්පත්ව ඉන්න ඕනේ කියලා මම විශ්වාස කරන්නේ නැහැ. දේශීයත්වයට ආදරය කරන දේශීයත්වය වෙනුවෙන් කැපවුණ අය ඉහළම තලයක ඉන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. අපේ රටේ සමහරු හිතනවා අපේ දේ කරන කෙනා පහළ මට්ටමක ඉන්න ඕනේ, බටහිර දේ කරන පිරිස උඩින් ඉන්න ඕනේ කියලා. නමුත් මම විශ්වාස කරන්නේ දේශීයත්වයට අගයක් තියෙන්න ඕනේ. මම මගේ කණ්ඩායමේ අයව වුණත් ආර්ථිකමය වශයෙන් ඉහළට ගැනීමේ ස්ථාවරයක ඉන්නවා. එයින් අදහස් කරන්නේ මම ඔවුන්ව සල්ලි හොයන්න පොලඹවනවා කියන එක නෙමෙයි. අපි ප්‍රජා සත්කාරක වැඩසටහන් නොමිලයේ පවත්වද්දි මට එයට පස් දෙනෙක් ගෙනියන්න ඕන වුණොත් 25 දෙනෙක් එනවා ඒකට ඉදිරිපත් වෙන්න. මගේ කණ්ඩායමේ මම වඩාත්ම අගය කරන දේ ඒක. දේශීය දේවල් කරනවා වගේම මේක අපේ වෘත්තිය නිසා ඒ වෘත්තිමයභාවය රැකගන්නත් අපි කටයුතු කරනවා. වෘත්තිමය භාවයක් තිබ්බේ නැත්නම් කිසිම දෙයක් පවතින්නේ නැහැ. මේ කාරණා තමයි කණ්ඩායමක් විදිහට ඉදිරියට යන්නත් අපේ කටයුතු සාර්ථක වෙන්නත් බලපාලා තියෙන්නේ. ඒ වගේම මගේ කණ්ඩායමේ කිසිම කෙනෙක්ට මම කියලා නැහැ මේකම විතරක් කරගෙන ඉන්න කියලා. විවිධ වෘත්තීන් කරන පිරිසක් රන්වල බලකායේ ඉන්නවා. ඔවුන්ට ස්වාධීනව ඉදිරියට යන්නත් මම උදව් කරනවා. දේශීය දේවල් කරනවා කියලා අපි කාගෙවත් අතපල්ලෙන් වැටිලා කියලා හිතන්න එපා කියන දේ ඔවුන්ට තේරුම් කරලා තියෙන නිසා ඔවුන් අභිමානනීය කලාකරුවන් ලෙස කටයුතු කරනවා. දේශීයත්වය රැකගැනීම උදෙසාත්, ඔවුන්ට අභීමානනීය කලාකරුවන් ලෙස වටිනාකමක් එක්කරලීම උදෙසාත් සහන් රන්වල කලාකරුවා කරන කැප කිරීම මුළු මහත් අනාගතයකටම නිසැක වටිනාකමක් බව සිහි කැඳවිය යුතුමය. තිළිණි කෞශල්‍යා විජේසිංහ
 

More News..