brand logo

ඔන්ලයින් අධ්‍යාපනයේ අසාර්ථකභාවය රාජ්‍ය ඇමති පිළිගනී

11 June 2021

පවත්නා කොවිඩ් අවදානම හමුවේ බිඳවැටී තිබෙන පාසල් දරුවන්ගේ අධ්‍යාපනය යථාවත් කිරීම පිළිබඳව විකල්ප යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අද (11) අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ගුරු විදුහල්පති සංගම් නියෝජිතයින් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී ඔන්ලයින් අධ්‍යාපනයේ ඇති අසාර්ථකභාවය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙන අතර දැනට රට පුරාම සමස්තයක් ලෙස ඊට සහභාගි වන්නේ දරුවන් 22% පමණ බව ඇමතිවරයා ද පිළිගත් බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි. මේ අනුව ඊට විකල්ප වශයෙන් රාජ්‍ය හා පෞද්ගලික සියලු රූපවාහිනි නිශ්චිත කාලසටහනකට අනුව යොදාගත යුතු බවත් මෙහිදී පෙන්වා දී ඇත. තවද දරුවන්ගේ සමාජානුයෝජනය පිළිබඳ ආකල්ප වර්ධනය සඳහා දේශන වෙනුවට ආකර්ෂණීය වැඩසටහන් දියත් කළ යුතු බවත් එහිදී යෝජනා වී ඇත. මේ අතර දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් ඕනෑම සහයෝගයක් ලබාදීමට වෘත්තීය සමිති ලෙස සූදානම් බව ද එම නියෝජිතයන් වැඩි දුරටත් පෙන්වා දී ඇත. යල්වෙල පඤ්ඤාසේකර හිමි ,ජෝසප් ස්ටාලින්, මොහාන් වීරසිංහ , ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක්ද මෙම අවස්ථාව සඳහා සහභාගි විය.
 

More News..