brand logo

ඔටුන්න චන්දිට දුන් ඇන්ජි රිදෙන්න ලියුමක් ලියයි

25 September 2018

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිලේ නායකත්වය ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ටම ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව චන්දිමාල් එළැඹෙන එංගලන්ත තරගාවලියේ සිට ශ්‍රී ලංකා එක්දින පිලේ නායකයා වශයෙන් කටයුතු කරනු ලබයි. එංගලන්ත තරගාවලියට එක්දින තරග පහක්, විස්සයි විස්ස තරගයක් සහ ටෙස්ට් තරග තුනක් ඇතුළත් වේ. නායකයෙකු ලෙස ඇන්ජලෝ මැතිව්ස් දිගින් දිගටම අසාර්ථක වීම සහ මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී මැතිව්ස් යටතේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය හමුවේ ලජ්ජා සහගත අයුරින් පරාජයට පත්වීම තනතුර අහිමි වීම සඳහා බළපෑ ප්‍රධාන සාධකයක් විය. ඉකුත් වසරේ පැවැති අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවත් වීමෙන් පසුව ඇන්ජලෝ මැතිව්ස් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබිණි. ඉන් අනතුරුව උපුල් තරංග, චාමර කපුගෙදර, තිසර පෙරේරා, දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා පිලේ නායකයින් වශයෙන් විටින් විට කටයුතු කළමුත්, චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු බවට පත්වීමෙන් පසුව නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකකම ඇන්ජලෝ මැතිව්ස් වෙත හිමි විය. මේ අතර පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයට තමන්ව කැඳවා වත්මන් පුහුණුකරු සහ තේරීම් කමිටුව විසින් තමන්ට නායකත්වයෙන් ඉල්ලා අස්වන මෙන් දන්වා සිටි බවත් එය ඇසීමෙන් තමන් පුදුමයට පත්වූ බවත් සඳහන් කරමින් මැතිව්ස් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඇෂ්ලි ද සිල්වා මහතා වෙත ලිපියක් යවා තිබේ. පරාජය සඳහා තමන්ද යම් පමණට වගකිව යුතු වුවත්, ප්‍රධාන පුහුණුකරු සහ තේරීම් කමිටුව වෙතද එහි වගකීම පැවරෙන බවත් සමස්ත පරාජයේ වගකීම නායකත්වය මත පැටවීම අනුමත නොකරන බවත් මැතිව්ස් එම ලිපියේ සඳහන් කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා ඉදිරියටත් තම උපරිමය ලබාදීමට තමන් සූදානමින් සිටින නුමත් තමන් කණ්ඩායම සඳහා නුසුදුස්සකු බව ප්‍රධාන පුහුණුකරු සහ තේරීම් කමිටුවේ මතය වේ නම්, පන්දුවාර 20 සහ එක්දින ක්‍රිකට් අංශවලින් සමුගැනීම පිළිබඳව සලකා බලන්නේ යැයිද ඔහු වැඩිදුරටත් එහි සඳහන් කර තිබේ.
 

More News..