brand logo

ඔක්සිජන් හොයන ඉන්දියානුවන්ගේ හුස්ම හිරකරන බොරු මෙන්න

26 May 2021

සමාජ මාධ්‍ය යේ හුවමාරු වන බොරු ප්‍රතිකාර වලට රැවටෙන්න එපා!

ඉන්දියාව මේ වන විට මාරාන්තික කොරෝනා රෝගයෙන් බරපතලව සිටින රෝගීහු තමන්ට අවශ්‍ය ප්‍ර‍තිකාර ලබාගැනීමේ දුෂ්කරතා හේතුවෙන් විවිධ වූ විකල්ප ප්‍ර‍තිකාර ක්‍ර‍ම කෙරෙහි යොමු වෙමින් සිටිති. මේ විකල්ප ප්‍රතිකාර බොහෝමයක් අන්තර්ජාලය ඔස්සේ සැරිසරන ඒවා වන අතර මේවා ඉතා අනතුරුදායක හා නොමග යවන සුලු වේ. [caption id="attachment_147306" align="alignnone" width="383"] මෑතකදී අප වෙත යොමු කළ වට්ස්අප් පණිවිඩයක්[/caption]

මෙහි ඇති බරපතලම කාරනය නම් මේ වනවිට ශ්‍රී ලංකාවේ ඇතැමුන්ද මේ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව විමසිලිමත් වීමයි. මෑතකදී අප වෙත යොමු කළ වට්ස්අප් පණිවිඩයකින් එවැනි බෙහෙත් වට්ටෝරුවක සත්‍යාසත්‍යතාව සොයා බලන ලෙස ඉල්ලා තිබුණි.

ඉන්දියාවේ මේ වනවිට උග්‍ර ඔක්සිජන් හිඟයක් පවතින අතර මෙලෙස හුවමාරුවන එක් තොරතුරකින් කිය වුනේ‍ 'නෙබියුලයිසර්' ලෙසින් හඳුන්වන කුඩා උපකරණයක්, ඔක්සිජන් සිලින්ඩරය වෙනුවට භාවිත කළ හැකි බවයි. 'නෙබියුලයිසර්' යනු ශ්වසන පද්ධතිය ආශ්‍රිත ගැටලුවලදී වෛද්‍යවරුන් අදාළ ඖෂධ රෝගියාට ලබා දීමට යොදාගන්නා උපකරණයක්. ඔක්සිජන් සිලින්ඩරය වෙනුවට 'නෙබියුලයිසර්'භාවිත කළ හැකි බවට වෛද්‍යවරයකු කරන ප්‍ර‍කාශයක් ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

අදාළ වෛද්‍යවරයා එම උපකරණය භාවිත කළ යුතු ආකාරය පෙන්වා දෙමින් හින්දි භාෂාවෙන් ප්‍ර‍කාශ කරන්නේ නෙබියුලයිසර් උපකරණය මගින් සැපයීමට තරම් ප්‍ර‍මාණවත් ඔක්සිජන් අපගේ වටපිටාවෙහි ඇති බවයි.

එම වීඩියෝ පටයේ ඔහු වැඩිදුරටත් පවසන්නේ "ඔබට අවශ්‍ය වන්නේ නෙබියුලයිසරයක් පමණයි. එමගින් ඔබට අවශ්‍ය ඔක්සිජන් ඇදගත හැකියි" යනුවෙනි. නමුත් සත්‍ය තත්ත්වය නම්'නිබියුලයිසර්' නිර්මාණය කර ඇත්තේ ශ්වසන රෝගීන්ට ඖෂධ සැපයීම සඳහා නමුදු එයින් කොවිඩ් රෝගීන්ට ඔක්සිජන් සැපයීමක් සිදු කළ නොහැක. ඔහුගේ ප්‍ර‍කාශනයට පිළිතුරු දුන් ඉන්දියාවේ සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ‍ නෙබියුලයිසර් උපකරණය භාවිත කිරීම "සාක්ෂි හෝ විද්‍යාත්මක අධ්‍යයන" මගින් සනාථ කර නොමැති අතර අමතර ඔක්සිජන් සැපයීම කෙරෙහි මෙම ක්‍ර‍මවේදය සම්පූර්ණයෙන්ම ප්‍ර‍තිඵල රහිත බවත් ය. මීට පිළිතුරු ලෙස අදාළ වෛද්‍යවරයා යළිත් වීඩියෝවක් නිකුත් කරමින් පවසා ඇත්තේ සිය පණිවිඩය "වරදවා අවබෝධ කරගෙන" ඇති බවත් නෙබියුලයිසර් උපකරණය, ඔක්සිජන් සිලින්ඩරය වෙනුවට භාවිත කළ හැකි බවක් තමන් අදහස් නොකළ බවත්ය.

ඒ වගේම ඔක්සිජන් මට්ටම පහළ යාම වැනි කොවිඩ් 19 වසංගත රෝග ලක්ෂණවලට ප්‍ර‍තිකාර වශයෙන් නිවසේදී සාදාගත හැකි විවිධ ශාකසාර බෙහෙත් වට්ටෝරුවලින් මේ වන විට ඉන්දීය සමාජ මාධ්‍ය පිරී ඉතිරී ගොසිනි.

නමුත් සත්‍ය නම් ශාකසාර ඖෂධ මගින් ද ඔක්සිජන් මට්ටම ඉහළ නැංවීමක් සිදු නොකරයි. මේ අතරින් විශාල පිරිසක් අතර හුවමාරු වන එක් 'ප්‍රතිකර්මයක්' මගින් කියවෙන්නේ කපුරු, කරාබු නැටි, කැරම් බීජ සහ යුකැලිප්ටස් තෙල් ඇසුරින් සාදාගන්නා මිශ්‍රණයක් කොවිඩ් 19 වසංගත රෝගයෙන් පීඩා විඳින රෝගීන්ට ඔක්සිජන් මට්ටම පවත්වාගෙන යාමට උපකාරී වන බවය. ඉන්දියාවේ සාම්ප්‍ර‍දායික ආයුර්වේද වෛද්‍යවරයෙකු විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙම මිශ්‍ර‍ණය ප්‍ර‍වර්ධනය කරන වීඩියෝව ෆේස්බුක් ඔස්සේ 23,000 ට වැඩි වාර ගණනක් මෙන්ම වට්ස්ඇප් ඔස්සේ ද හුවමාරු කර ඇත. නමුත් කොරෝනා වෛරසයට ගොදුරුවූවන්ට මෙමගින් සහනයක් ලැබෙන බවට මෙතෙක් සාක්ෂි මගින් සනාථ කර නොමැත. සාමාන්‍යයෙන් කපුරු තෙල්, සමේ ගල්වන ආලේපන වර්ග සහ විලවුන් නිෂ්පාදනයේදී පුළුල් වශයෙන් යොදාගන්නා අතර ශරීර අභ්‍යන්තරට අදාළ පරිභෝජනය අහිතකර විය හැකිය.

රෝග පාලනය පිළිබඳ එක්සත් ජනපද මධ්‍යස්ථානය අනතුරු අඟවන්නේ කපුරු වාෂ්ප ආශ්වාස කිරීම විෂවීමට ද ඉඩ ඇති බවය.

මේ අතර ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ දේශපානඥයෙකු සහ ව්‍යාපාරිකයෙකු පසුගියදා ප්‍ර‍කාශයක් කරමින් සඳහන් කළේ ලෙමන් බිංදු දෙකක් නාසයට දැමීමෙන් ඔක්සිජන් සන්තෘප්ත මට්ටම ඉහළ නැංවෙන බවකි. විජේ සන්කේශ්වර් නැමැති එම පුද්ගලයා පවසා සිටියේ ඔක්සිජන් මට්ටම ඉතා අවම තත්ත්වයේ සිටි තම සගයින්ට මෙම ප්‍ර‍තිකාරය තමන් යෝජනා කළ බවය. පැය භාගයක් ඇතුළත ඔවුන්ගේ ඔක්සිජන් මට්ටම 88% සිට 96% දක්වා ඉහළ නැංවුණු බව කී ඔහු ඉන්දියාවේ දැනට පවතින ඔක්සිජන් හිඟයෙන් 80%ක ප්‍ර‍තිශතයක් මෙම ක්‍ර‍මය ඔස්සේ විසඳාගත හැකි බව පැවසීය. කෙසේවෙතත්, ඔක්සිජන් සංතෘප්ත මට්ටම මෙම ක්‍ර‍මය තුළින් ඉහළ නැංවෙන බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් ලැබී නොමැත.

මේ සියලු දේ මැද මායා බලයෙන්ද ඔක්සිජන් මට්ටම ඉහල නංවා ගත හැකි බවට ද කියවේ. ඉන්දියාවේ ජනප්‍රියතම යෝගා ගුරු ලෙස සැලකෙන බාබා රාම්දේව් ප්‍ර‍වෘත්ති නාලිකා මෙන්ම ඔහුගේ යූටියුබ් නාලිකාව ඔස්සේ පෙනී සිටිමින්, නිවසේදීම ඔක්සිජන් මට්ටම ඉහළ නංවාගන්නා ආකාරය පෙන්වා දෙයි.

"ඔක්සිජන් නොමැති බැවින් මුළු රටම එකම අඳෝනාවක් බවට පත්වෙලා තිබෙනවා. නමුත්, මම ඔබට මැජික් එකක් පෙන්වන්නම්" යනුවෙන් ඔහු පැවසුවේ තමන්ගේ එක් ඇඟිල්ලක ඔක්සිජන් මට්ටම පරීක්ෂා කරන උපකරණයක් සවිකරමිනි. යූටියුබ් ජාලයේ ඇති මෙම වීඩියෝව 300,000ට වැඩි පිරිසක් නරඹා ඇත. . සාමාන්‍යයෙන් යෝගා පුහුණු වීම ඔබේ සෞඛ්‍යයට හිතකර වුවත්, කොවිඩ් 19 වැනි සෞඛ්‍යමය ගැටලුකාරී තත්ත්වයක ඔක්සිජන් සංතෘප්ත බව පහළ බැස ඇති අවස්ථාවකදී අතිරේක වෛද්‍ය ප්‍ර‍තිකාරමය ඔක්සිජන් ලබාගත යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි. ඡායරූප අනුග්‍රහය බීබීසී සිංහල
 

More News..