brand logo

ඒ පැත්තෙන් නම් මම හරි අවාසනාවන්තයි

15 February 2021

ප්‍රතිභා හෙට්ටිආරච්චි ගැන කතා කරද්දී ගාමිණී හෙට්ටිආරච්චි කියන චරිතය අමතක කරන්නට බැහැ. තමන්ට ලැබුණු සුළු චරිතයට පවා සුවිශාල සාධාරණයක් කරපු විශිෂ්ට ගණයේ රංගන ශිල්පියෙක් තමයි ගාමිණී කියන්නේ. යශෝරාවයේ සුනිමල් විදිහට ඔහු කරපු රංගනය අදටත් ප්‍රේක්ෂක සිත් තුළ ලැගුම් ගත් චරිතයක් බවට පත් වී ඇත්තේ ඒ නිසයි. අද ඔහු ජීවතුන් අතර නැතත් ගාමිණීගෙ මේ උරුමය අද වෙද්දි ඔහුගේ ආදරණිය දියණිය වන ප්‍රතිභා හෙට්ටිආරච්චි ඉදිරියට රැගෙන යනවා. ප්‍රතිභා හෙට්ටිආරච්චිත් කාලයක් අපිට නිර්මාණ තුළින් දකින්නට ලැබුණේ නැහැ. දීර්ඝ කාලයක් නිහඬව සිටි ප්‍රතිභා නැවත අලුත් නිර්මාණයක් තුළින් ප්‍රේක්ෂකයන් අතරට එන්නට සුදානමින් ඉන්නවා. ඒ අසංග සායක්කාර ලියූ පිටපතක් අනුව නිර්මාණය වන පොර්ක් වීදිය (The Pork Street) ටෙලි නිර්මාණය තුළින්. කාලෙකට පස්සේ කොහොමද ජීවිතේ? කොරෝනා එක්ක ලෝකයේ හැමෝම ලොකු ව්‍යසනයක් එක්කනේ ඉන්නේ. නමුත් ඕනෙම දෙයක දෙපැත්තක් තියෙනවනේ. ඉතින් මේ කාලය මම සුබවාදීව දකිනවා.ගෙදර අය එක්ක වැඩි කාලයක් ඉන්න ලැබිලා තියෙනවා. ඒ එක්කම වසර 10ක් තිස්සේ මම කරපු රැකියාවෙන් දැන් ඉවත් වෙලා ඉන්නේ. ඒ නිසා කලාවට වැඩි කාලයක් යොදවන්න පුළුවන් වෙලා තියෙනවා. අවුරුදු 5කට පස්සේ තමා මම පොර්ක් වීදිය ටෙලි නිර්මාණයකට දායක වුණේ. දැන් කාලය ගත වෙන්නේ කොහොමද? මේ වෙද්දී මම වෘත්තීන් තුනක නියැළී ඉන්නවා. එකක් තමා මගේ අයියා ශක්ති හෙට්ටිආරච්චි පවත්වාගෙන යන වෙළෙඳ දැන්වීම් නිර්මාණය කරන නිෂ්පාදන ආයතනයක් වන ගාමාස් ඇඩ්වර්ටයිසින් ආයතනයේ වැඩ කරනවා. ඊට අමතරව මම බාහිර කථිකාචාර්යවරියක් විදියට පෞද්ගලික අංශයේ විශ්වවිද්‍යාලවල කටයුතු කරනවා. ‘පොර්ක් වීදිය’ ටෙලි නිර්මාණය තෝරා ගන්න හේතුව මොකක්ද? මෙහි පිටපත ලියන්නේ සිහින පුරය ටෙලි නිර්මාණය ලියූ අසංක සායක්කාර. පිටපත හොඳයි කියන්නේ නිර්මාණය ගැන විශ්වාසයක් තියන්න පුළුවන්. ඉතාම ප්‍රවීණ අය තමා වැඩ කරන්නේ. සාලින්ද රත්නායක අධ්‍යක්ෂවරයා ඔහුත් කලාව තුළ වැඩ කරලා අත්දැකීම් තියෙන කෙනෙක්. ඒ ගැනත් සලකා බලලා තමා හිතුවේ මේකට දායක වෙන්න. කලා නිර්මාණවලට දායක නොවූ වසර 5 ගැන ආපස්සට හිතද්දී අපරාදේ කියලා හිතෙනවද? අපරාදේ කියලා හිතෙන්නේ නැහැ. මොකද මගේ බබාලා දෙන්නත් පොඩි නිසා ටිකක් ලොකු වෙනකම් මගේ ඕනෙකමක් තිබුණෙත් නැහැ. දැන් මගේ දරුවෝ දෙන්නා යම් කිසි තේරෙන වයසක නිසා මම ඒ ගැනත් හිතලා ආයේ කලාවට එන්න හිතුවේ. ඒ වසර 5ම දරුවන් වෙනුවෙන් කාලය වෙන් කළ නිසා කිසිම පසුතැවීමක් නම් නැහැ. දැන් වෙද්දී බොහෝ අලුත් අය ඉන්නවා ක්ෂේත්‍රය තුළ කොහොමද? අභියෝගයක් ද? අලුත් අය ඕනෙම ක්ෂේත්‍රයකට එන්න ඕනේ. ඒ නිසා අභියෝගයක් විදියට මම දකින්නේ නැහැ. අපිත් කැමැතියි අලුත් අයගේ දක්ෂතා දකින්න. හොඳට රඟපාන අලුත් අය ඇවිත් ඉන්නවා. දක්ෂතාව තියෙනවා නම් කලාවට ආවට ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් නේ ගැටලු ඇති වෙන්නේ. මෙගා නාට්‍ය ගැන මොන වගේ තැනකද ඉන්නේ? මෙගා කියන එකත් මම දකින්නේ අද ඊයේ ආව එකක් නෙවෙයි. දු දරුවෝ පවා ඇත්තටම බැලුවොත් මෙගා නාට්‍යයක්. ඒ නිසා මෙගා තුළත් හොඳ නිර්මාණ බිහිවෙනවා.මෙගාවලට මම යන්නේ නැත්තේ එක නාට්‍යයක් වෙනුවෙන් දිගු කාලයක් කැප කරන්න තියෙන බැරිකම නිසා. සිනමාව පැත්තෙන් දායකත්වය ගැන කතා කළොත් මම ඒ පැත්තෙන් නම් හරි අවාසනාවන්තයි. මොකද මම දන්නේ නැහැ ඇයි එහෙම වුණේ කියන්න. ඒ කාලේ මට ආරාධනා ආවත් දුර ප්‍රශ්න නිසා තාත්තා මාව සමහර ඒවාට යැව්වේ නැහැ.ඊට පස්සේ මට කිසිම දෙයකට ආරාධනා ලැබිලා නැහැ. මේ කාලයේ ආරාධනාවක් ආවොත් භාරගන්නවද? අනිවාර්‌යෙන්ම. මම ආසයි ඒ අත්දැකීම ලබන්න. වේදිකාවේ සහ පුංචි තිරයේ අත්දැකීම මට තියෙනවා. ඒ නිසා සිනමාවට සම්බන්ධ වෙන්නත් ආසාවක් තියෙනවා. ඇතැම් විට කෙනෙක්ට හිතෙන්න පුළුවන් විවාහයත් එක්ක රංගනයෙන් ඈත් වුණේ සැමියා අකැමති නිසා කියලා... එහෙම කිසිම අකැමැත්තක් නැහැ. එයත් හරි කැමතියි. එයාගේ අම්මා තාත්තා පවා පේරාදෙණිය වළේ නාට්‍යය එක්ක සම්බන්ධ පවුලක්. ලොකු සහයෝගයක් දෙනවා අදටත් මම රූගත කිරීමකට යනවා නම් දරුවන්ගේ සියලු වැඩ එයා කරනවා. කලා නිර්මාණයක් කරන්න අදහසක් නැද්ද? මගේ තාත්තගේ සහ අයියගේ අදහසක් තිබ්බ කලින් ඉඳලම. ඒක කරන්න කලින් තමා තාත්තා අපි අතරින් සමුගන්නේ. දැන් සිනමා නිර්මාණයක් කරන්න අයියගේ හිතේ නම් අදහසක් තියෙනවා. අපි බලමු රටේ තත්ත්වය එක්ක ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අනුෂා රණසිංහ
 

More News..