brand logo

ඒකට තව කල් තියෙනවා - ඒක හොඳම වෙලාවට වෙයි

27 June 2019

විපක්ෂ නායක මහින්ද ද පසුගිය බ්‍රහස්පතින්දා විශේෂ රැස්විමක් කැඳවා තිබුණි. ඒ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කල මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමකට අනුවය. වර්තමාන දේශපාලන තත්වය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණි. රැස්වීම පැවත්වූයේ විජේරාමයේ පිහිටි මහින්දගේ නිල නිවසේය. ‘‘ජනාධිපතිවරණය ළඟ ළඟම එනවා... අපි සූදානම් ශරීරයෙන් ඉන්න ඕන... අපේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන මන්ත්‍රීවරුන් දැනුවත් කරන අරමුණින් තමයි අපි මේ සාකච්චාව ඉල්ලුවේ...’’ කංචන විජේසේකර මන්ත්‍රීවරයා මුලින්ම පැහැදිලි කළේය. කංචනගේ ඉල්ලීමට අනුව මහින්ද පවතින දේශපාලන තත්වය හා ඉදිරි වැඩ පිළිවෙල පිළිබදව මන්ත්‍රීවරුන්ට දීර්ඝ ලෙස පැහැදිලි කළේය. ‘‘ හුඟදෙනෙක් දැන් අපිත් එක්ක එකතු වෙන්න අහනවා... නමුත් ඒ ගැන විවිධ ප්‍රශ්ණත් තියෙනවා...’’ මහින්ද සිය කතාව අතරතුරදී කීවේ ය. ‘‘රටේ ජන මතය ගොඩනැගිලා තියෙන්නේ මේ ආණ්ඩුවට විරුද්ධව... මේ ආණ්ඩුවට සම්බන්ද කවුරුත් එනවට අපේ ගම්වල තියෙන්නෙ දැඩි විරෝධයක්... එත් අපි දිනන්නනම් ඡන්ද වැඩිකරගන්නත් ඕනෑ...’’ ප්‍රසන්න කීවේය. ‘‘2015 ජනාධිපතිවරණයෙන් පස්සේ ඔබතුමා වෙනුවෙන් මුල ඉඳලම හිටපු අය ඉන්නවා... ඒ අය කලකිරවාගෙන අලුත් අය අරන් වැඩක් නෑ... අලුත් අය එකතු කරගන්නවා නං අපිත් එක්ක මෙච්චර කල් දුක්විඳපු අයට ප්‍රමුඛතාවය හා නිසි ගෞරවය දෙමින් තමයි ඒ දේ කරන්න වෙන්නේ...’’ ප්‍රසන්න වැඩි දුරටත් කීවේය. ‘‘ඒක ඇත්ත... මෙතන තියෙන්නේ ඡන්දය හා මනාප අතර වෙනසක්... අපේ මැතිවරණ වලදී අපි අපේ මනාප වැඩිකරගන්න ගම් මට්ටමින් විවිධ අයව එකතු කර ගන්නවා... ජනාධිපතිවරණයේදී අපිට අවශ්‍ය ඡන්ද ගන්න ඕන හින්දා විවධ අය ගන්න වෙනවා... නායකයාට ඒ සඳහා අවසරය තියෙන්න ඕනේ...’’ ලන්සා කීවේය. ‘‘අපේ ප්‍රතිපත්ති පිළි අරගෙන අපේ වැඩ පිළිවෙලත් එක්ක කටයුතු කරන්න පුළුවන් නම් තමයි ඒ අය ගැන සලකා බලන්න වෙන්නේ...’’ කෙහෙළිය කීවේය. ‘‘2015 පරාජයෙන් පස්සේ අපේ අය හුඟක් කැපකිරීම් කළා... ඒ වගේම ජනාධිපතිවරණය වගේ මැතිවරණයකදී අපිට හැම ඡන්දයක්ම වටිනවා... කණ්ඩායමක් හැටියට මේ ගැන තීන්දුවක් ගන්නවනම් අපිට ඒ ගැන කටයුතු කරන්න පුළුවන්...’’ බැසිල් කීවේය. මේ කතාබහ අතරතුර ද, ‘පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් නොකරන්නේ මන්දැ’යි කිහිප දෙනෙකුම මහින්දගෙන් ඇසුවේ ය. ‘‘ඒකට තව කල් තියෙනවා... ඒක හොඳම වෙලාවට වෙයි...’’ මහින්ද කීවේ සිනාසෙමිනි.
 

More News..