brand logo

එ.ජා.ප. පසුපෙළට මාසෙකට ලක්ෂ 2 බැගින් ගෙවන්න හැදූ වජිරගේ සැලැස්ම අවුල් වෙයි

15 September 2019

උපරිම මාධ්‍ය සදාචාරයක් ගැන කතා කරන ඔබ අවම සදාචාරයවත් ආරක්ෂා කරමින්, රූපවාහිනිය පවරාගන්නට පෙර විෂයභාර අමාත්‍යවරයා වූ තමන්ව ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්නට තිබුණා නොවේදැ’යි අසමිනි. මේ සිදුවීම සිදුවූ දවසේ උදෑසන කැබිනට් මණ්ඩලය රැස්වූ නමුත්, එදිනම රාත්‍රියේ ජාතික රූපවාහිනිය පවරාගැනීමේ අදහසක් තමන් තුළ ඇති බවක් නොපෙන්වා කටයුතු කළ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට සහභාගි වූයේ සැහැල්ලුවෙනි. එහෙත් වජිර අබේවර්ධන ගෙනා යෝජනා දෙකක් නිසා ජනාධිපතිවරයාගේ සැහැල්ලු මනස බිඳී ගියේ ය. වජිර අබේවර්ධන ගෙනා එක් යෝජනාවක් වූයේ, දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති නමින් ඇති කළ තනතුරට පත් කර සිටින පසුපෙළ මන්ත්‍රීවරුන් 23 දෙනා වෙනුවෙන් මසකට ලක්ෂ 2 බැගින් ගෙවිය යුතු බවට වන යෝජනාව ය. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් ද වජිරට දැඩි පෙලඹවීමක් තිබූ අතර ඊට හේතු වී තිබුණේ, මෙම 23 දෙනා අතර එ.ජා.ප. කැරලිකාර කණ්ඩායමට සම්බන්ධ පසුපෙළ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සිටීම ය. එහිදී ඔවුන්ට මසකට ලක්ෂ 2 බැගින් ගෙවීම හරහා එ.ජා.ප. පසුපෙළ නායකත්වය වෙත නම්මා ගැනීමට ‘වක්‍රාකාර උදව්වක්’ වනු ඇති බවට අදහසක් ජනාධිපතිවරයා වෙත කලින්ම ලැබී තිබුණු අතර එහෙයින් ම ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී ඊට විරෝධය පළ කිරීම සඳහා සැදී පැහැදී සිටියේ ය. එමෙන් ම මුදල් අමාත්‍ය මංගල සමරවීරද මෙහිදී ජනාධිපතිවරයාගේ පැත්තට කතා කළ අතර ඔවුන් දෙදෙනාගේම අදහස වූයේ, මෙම යෝජනාව අනුමත කළහොත් වැටුප් විෂමතා ප්‍රශ්න රාශියකට මුහුණ දෙමින් සිටින වෘත්තීයවේදීන් දැඩි සේ කලබල වනු ඇති බව ය. ‘‘එහෙමනං මන්ත්‍රීවරුන්ට මේ වැටුප ගෙවන ගමන්, වෘත්තීයවේදීන්ගෙ වැටුප් ප්‍රශ්නත් විසඳන්න වෙයි... හැබැයි එතකොට රුපියල් මිලියන 5300 ක් විතර යයි...’’ මංගල කියද්දි, ජනාධිපති මෛත්‍රී මෙසේ කීවේය. ‘‘නෑ... නෑ... ඕන නෑ... මන්ත්‍රීවරුන්ට ලක්ෂ දෙක ගෙවන්න ඕනැත් නෑ... අනෙක් පඩි වැඩිකිරීම කරන්න ඕනත් නෑ... මේ හදිස්සියෙ ඔච්චර විදයම් දරන්න භාණ්ඩාගාරෙ සල්ලි නෑනෙ...’’ කෙසේවෙතත් මෙදින කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීම සඳහා ‘තවත් ආන්දෝලනාත්මක’ යෝජනාවක් වජිර අතේ තිබුණේ ය. ඒ මේ වන විටත් ‘ගෙදර ගොස් සිටින’ පළාත් සභා මන්ත්‍රීවරුන්ට ‘තීරුබදු රහිත වාහන බලපත්‍ර’ අනුමත කිරීමට අදාළ යෝජනාව ය. එමගින් පළාත් සභා මන්ත්‍රීවරුන් 418 ක් සඳහා ඇමරිකානු ඩොලර් 35,000 බැගින් වන තීරු බදු රහිත බලපත්‍රය බැගින් ලබාදීමට කැබිනට් අනුමැතිය ඉල්ලා තිබුණි. මෙම යෝජනාව මීට පෙර වතාවකදී ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී ප්‍රතික්ෂේප වුණු යෝජනාවක් වූ නිසාදෝ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරුණු දැක්වූයේ තරමක කේන්තියකිනි. ‘‘මේ වගේ යෝජනා නැවත ගේන්න එපා... මීට වඩා වැදගත් වැඩ තියෙනවනෙ අපිට... අනික දැන් මේගොල්ලො සභාවෙ ඇත්තෙත් නෑ...’’ මෙහිදී වජිර නැවතත් කතා කළේ ය. ‘‘සර්... දෙන්නෙකුට දැනටමත් දීලා තියෙන්නෙ... ඉතිං එතකොට අනෙක් අය නඩු දමයි...’’ මෙය ඇමති වජිර සැලසුම් සහගතව සිදුකළ දෙයක් වන්නට ඇති බව සිතුවේ වුවත්, එය මුවින් පිට නොකළ ජනාධිපතිවරයා, ඊට අනුමැතිය දීම ප්‍රතික්ෂේප කළේ ය. එහෙත් මෙහි ඇත්ත කතාව නම්, මේ දිනවල ‘ගෙදරට වී සිටින’ පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් සාතිශය බහුතරයක් තමන්ට ලැබෙන්නට තිබෙන ඇමෙරිකානු ඩොලර් 35,000 ‘තීරුබදු රහිත වාහන බලපත්‍රය’ ඇපයට තබා, වාහන සේල්කාරයින්ගෙන් රුපියල් ලක්ෂ 30, 40 ණයට ගෙන තිබීමත්, එම ණය පියවාගැනීමට කෙසේ හෝ බලපත්‍රය ලබාදෙන ලෙස වජිර හමුවේ හඬා වැටෙමින් සිටීම ය.
 

More News..