brand logo

එළවළු මිල පහත වැටෙයි

17 February 2020

එළවළු තොග අලෙවි මිල ඊයේ (16 වැනිදා) සියයට පනහකින් පහළ ගිය බව දඹුල්ල විශේෂිත ආර්ථිකයේ වෙළෙඳ සංගමයේ සභාපති යූ. බී. ඒකනායක ‘අරුණ’ ට පැවැසීය. උඩරට, පහතරට, මැදරට සහ උතුරු පළාතෙන් එළවළු තොග ලැබුණ බව ඔහු පවසයි. දඹුල්ල තොග වෙළෙඳ පොළට ඊයේ (16 වැනිදා) එළවළු කිලෝ ලක්ෂ 25 ක් පමණ ලැබී ඇත. යාපනය දිස්ත්‍රික්කයේ එළවළු තොග සැපයුම ඉහළ ගොස් තිබේ. ඉහළම මිලකට අලෙවි වූ උඩරට එළවළු මිල සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇත. මැදරට කලාපයෙන් ලැබුණ එළවළු කිලෝවක තොග මිල රුපියල් 60 නොඉක්මවීය. රුපියල් 450 ක මිලක් වාර්තා වූ උඩරට කලාපයෙන් ලැබුණ බෝංචි කිලෝවක තොග මිල ඊයේ (16 වැනිදා) රුපියල් 130 ක් දක්වා පහළ ගොස් ඇත. කැරට්, ගෝවා, ලීක්ස් ඇතුළු උඩරට කලාපයෙන් ලැබුණ එළවළුවල තොග මිල කිලෝවක් සඳහා රුපියල් 180 නොඉක්මවූ බවද පැවැසේ. ඉදිරි දිනවලදී තොග වෙළෙඳ පොළට එළවළු සැපයුම සීමාව ඉක්මවා ලැබෙනු ඇති බව විශ්වාස කෙරෙන හෙයින් එළවළු මිල අස්ථාවර වන බවද පැවැසේ. පසුගිය මහ වැසිවලින් එළවළු කොරටු හානියට පත්වීම නිසා මිල ඉහළ යාම කෙරෙහි පමණක් අවධානය යොමු කළ ගොවීහු වෙළෙඳ පොළ අවශ්‍යතාව කෙරෙහි නොතකා එළවළු වගාවට යොමුවීම මෙලෙස මිල පහළ යාමට බලපා ඇත.   සුනිල් රූපසිංහ
 

More News..