brand logo

එළවළු මිල තවදුරටත් ඉහළට

17 December 2019

දඹුල්ල ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයට එළවළු තොග සැපයුම සියයට 70කින් පමණ පහළ වැටී ඇති බවත්, ඉදිරි මාස එකහමාර තුළ උඩරට එළවළු මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවත් දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ සභාපති යූ.බී. ඒකනායක ඊයේ (16 වැනිදා) ‘අරුණ’ කළ විමසුමකදී සඳහන් කළේය. දෙසැම්බර් මාසයේදී එළවළු නිෂ්පාදනය අඩුවී යාමත්, පසුගිය වැසි තත්ත්වයෙන් එළවළු වගාබිම්වලට හානි වීමත් නිසා උඩරට එළවළු මිල ගණන් ඉහළ ගිය බව වෙළෙඳපොළ ආරංචිමාර්ග සඳහන් කළේය. එළවළු මිල ඉහළ යෑම ලබන වසරේ (2020) ජනවාරි මස 20 වැනිදා දක්වා පවතිනු ඇතැයි එම ආරංචිමාර්ග පවසයි. ගෙවුණු මාසයේ දී පළමු සතියේ දිනකට එළවළු කිලෝ ලක්ෂ 45ක් දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයට ලැබිණි. දෙවැනි සතියේ සිට නොකඩවා ලැබුණු වැසි සමග එළවළු තොග සැපයුම පහළ ගිය බව සභාපතිවරයා පැවැසීය. එළවළු වගා බිම් හානියට පත්වීම විවෘත වෙළෙඳපොළේ එළවළු මිල ඉහළ යාමට බලපා තිබෙන බව ඔහු කියයි. දඹුල්ල කටුගස්තොට කොළඹ මැනිං වැලිසර මීතොට වේයන්ගොඩ කැප්පෙටිපොළ නුවරළිය සහ තඹුත්තේගම විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථාන සඳහා දිවයිනේ පළාත් 9න් එළවළු තොග සැපයෙන බව පැවැසූ සභාපතිවරයා තොග වෙළෙඳපොළට මේ දිනවල ලැබෙන එළවළු තොග ඉහළ මිලකට අලෙවි වන බව පැවැසීය. ඊයේ දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයෙන් බෝංචි කිලෝවක් රුපියල් 350ද බණ්ඩක්කා කිලෝවක් රුපියල් 110ද කරවිල කිලෝවක් රුපියල් 180ද වැටකොළු කිලෝවක් රුපියල් 200ද කැරට් කිලෝවක් රුපියල් 260ද ලීක්ස් කිලෝවක් රුපියල් 300ද අමු මිරිස් කිලෝවක් රුපියල් 250ක්ද බටු කිලෝවක් රුපියල් 150 අලෙවි වූ බව ඒකනායක පැවැසීය. සිල්ලර වෙළෙඳපොළේ එළවළු මිල තොග වෙළෙඳපොළ මිල මෙන් දෙගුණයකින් ඉහළ දමා තිබිණි. බෝංචි කිලෝවක් රුපියල් 450ත් 500ද ලීක්ස් කිලෝවක් රුපියල් 600ද, කැරට් කිලෝවක් රුපියල් 500ත් 550ද බටු කිලෝවක් රුපියල් 300ද කරවිල සහ වැටකොලු කිලෝවක් රුපියල් 400 සිට 450ක් දක්වා ඉහළ ගොස් තිබේ. සාලිය කුමාර ගුණසේකර/ සුනිල් රූපසිංහ - පල්ලේපොළ
 

More News..