එස්.බී ගිය රියට බාධා කළැයි ආරක්ෂකයෝ, දෙදෙනකුට වෙඩි තබති
07 November 2019
එස්.බී ගිය රියට බාධා කළැයි ආරක්ෂකයෝ, දෙදෙනකුට වෙඩි තබති
07 November 2019
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක ගමන් ගත් වාහනයකට බාධා වන අයුරින් හැසිරුණු බව කියන පිරිසකට මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයන් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා තැලිගම රෝහලට ඇතුළත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පැවසීය.
ඊයේ (06 වැනිදා) රාත්‍රී 7.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ගිනිගත්හේන පොලිස් බල ප්‍රදේශයේදීය. මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් නෝටර්න් බ්‍රිජ් ප්‍රදේශයේ පොකුරු රැස්වීම් කිහිපයකට සහභාගි වී වාහන දෙකකින් නැවත එමින් සිටියදී පොල්පිටිය ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුවී ඇත. මංගල උත්සවයකට සහභාගි වී ආපසු එමින් සිටි පිරිසක් මන්ත්‍රීවරයාගේ වාහනයට බාධා වන අයුරින් හැසිරීම නිසා බහින්බස්වීමක් ඇතිවී ඇත. එම බහින්බස්වීම දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදුවී ඇතැයි පොලිස් ආරංචිමාර්ග පවසයි.
මන්ත්‍රීවරයාගේ රථයට පිටුපසින් පැමිණි වෑන් රථයේ සිටි ආරක්ෂකයන් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය පවසයි.
වෙඩිවැදීමෙන් තුවාල ලැබූ දෙදෙනකු තැලිගම රෝහලට ඇතුළත් කර තිබේ. ඔවුන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා ඊයේ (06 වැනිදා) රාත්‍රියේ කරවනැල්ල මූලික රෝහලට මාරුකර යවා ඇත. සිද්ධියෙන් පසු, මන්ත්‍රීවරයාගේ වාහනය සහ ආරක්ෂකයන් ගමන්ගත් වාහනය එතැනින් පිටවගොස් තිබේ.
කේ.ටී.0086 දරන මෝටර් රථය සහ එස්.පී.පී.ඊ. 6827 අංක දරන වෑන් රථයෙන් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකළ බව ගම්වාසීන් ගිනිගත්හේන පොලිසියට දන්වා ඇත.
මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායකගෙන් අප කළ විමසීමකදී ඔහු පැවැසුවේ,
“මොකක් හරි සිද්ධියක් වෙලා තියෙනවා. හරියට දන්නේ නෑ. මාත් තවම හොයනවා.” යනුවෙනි.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා, සාලිය කුමාර ගුණසේකර,රංජිත් රාජපක්ෂ-හැටන්