brand logo

එල්.පී.එල්. අද සිට ඇරඹෙයි

26 November 2020

මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය නව මාවතකට යොමු කරමින් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (26 වැනිදා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. තරගාවලිය ආරම්භ කරමින් රාත්‍රී 8.00ට පැවැත්වෙන පළමු තරගයේදී කැන්ඩි ටස්කර්ස් පිලට එරෙහිව කලම්බු කිංග්ස් තරග වදිනු ඇත. කලම්බු කිංග්ස් පිලේ නායකයා වශයෙන් ඇන්ජලෝ මැතිව්ස් කටයුතු කරනු ලබන අතර කැන්ඩි ටස්කර්ස් පිලේ නායකයා වශයෙන් කුසල් ජනිත් පෙරේරා කටයුතු කරයි. මැතිව්ස්ගේ සහයට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලේ දස්කම් දක්වා ඇති දිනේෂ් චන්දිමාල්, ඉසුරු උදාන, ධම්මික ප්‍රසාද්, අශාන් ප්‍රියන්ජන් වැනි ක්‍රීඩකයන් කණ්ඩායමට ඇතුළත්ව සිටියි. කලම්බු කිංග්ස් පිලට ඇතුළත් විදෙස් ක්‍රීඩකයන්ගෙන් ඇන්ඩ්‍ර රසල් ඔවුන්ගේ ඉදිරිපෙළ බලාපොරොත්තුවක් වී තිබේ. රසල්ට අමතරව මන්ප්‍රිත්සිං ගෝනි, ලෝරි එවන්ස්, ඩැනියෙල් බෙල්, කයිස් අහමඩ් සහ කරීම් ඛාන් සදික් කලම්බු පිලට ඇතුළත්ව සිටින සෙසු විදෙස් ක්‍රීඩකයින් වේ. කුසල් මෙන්ඩිස්, සීකුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, නුවන් ප්‍රදීප්, දිල්රුවන් පෙරේරා සහ කමිඳු මෙන්ඩිස් වැනි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ජාත්‍යන්තර අත්දැකීම් සපිරි ක්‍රීඩකයන් කැන්ඩි ටස්කර්ස් පිලට ඇතුළත්ව සිටී. කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වය යටතේ බ්‍රෙන්ඩන් ටේලර්, ඉර්ෆාන් පතාන්, මුනාෆ් පටෙල්, නවීන් උල් හක්, රහමනුල්ලා ගුරුබාස් සහ ඩේල් ස්ටේන් විදෙස් ක්‍රීඩකයන් වශයෙන් ක්‍රීඩා කරනු ලබයි. ඒ අතරින් බ්‍රෙන්ඩන් ටේලර්ට සහ ඩේල් ස්ටේන්ට තරගාවලියේ මුල් තරග අහිමි වනු ඇතැයි වාර්තා වේ. මීට අමතරව මේ වන විට කොරෝනා ආසාදනය වී සිටින කලම්බු කිංග්ස් පිලේ රවීන්ද්‍රපාල් සිං ට සහ කැන්ඩි පිලේ සොහේල් ටන්වීර්ට මෙවර තරගාවලිය අහිමි වී යාමේ අවදානමක් පවතී. මීට පෙර තරගාවලියේ සමාරම්භක උත්සවය ප.ව. 3.30ට පැවැත්වෙනු ඇති බවට සංවිධායකයන් විසින් නිවේදනය කර සිටියත්, එය ප.ව. 6.50 දක්වා කල් දමා තිබේ. ජෛව ආරක්ෂණ බුබුළක් යටතේ පැවැත්වෙන තරගාවලියේ කිසිදු දූෂණ විරෝධී කටයුත්තක් සිදු නොවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. ඒ අනුව අදාළ තරගාවලිය සඳහා අයි.සී.සී. යේ දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයන් දෙදෙනෙක්, ක්‍රිකට් ආයතනයට අනුයුක්ත නිලධාරීන් දෙදෙනෙක්, ක්‍රීඩා අමාත්‍යාංශයේ දූෂණ විරෝධී අංශයේ නිලධාරීන් තරගාවලිය පැවැත්වෙන හම්බන්තොටට ගොස් සිටින බවට සඳහන් වේ. මීට වසර අටකට පෙර එනම් 2012 වසරේ මුල් වරට ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පැවැත්විණි. කණ්ඩායම් හතකගේ සහභාගිත්වයෙන් පැවැති එම ආරම්භක තරගාවලියේ ජය ඌව නෙක්ස්ට් කණ්ඩායම සතු විය.
 

More News..