brand logo

එල්.පී.එල්. අගෝස්තු 28 වැනිදා සිට

24 July 2020

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ලංකන් (ෆ්‍රැන්චයිස්) විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන අගෝස්තු මස 28 වැනිදා සිට පැවැත්වීමට තීරණයකර තිබෙන බවට ‘අරුණ’ ට වාර්තා වේ. ඒ අනුව අදාළ තරගාවලිය කොවිඩ් 19 වයිරස තත්ත්වයෙන් පසුව මෙරට පැවැත්වෙන පළමු ජාතික මට්ටමේ ක්‍රිකට් තරගාවලිය වනු ඇත. ‘එල්.පී.එල්. තරගාවලිය අගෝස්තු 28 වැනිදා ආරම්භ වෙන බවට අපිට දැන් තහවුරු කළ හැකියි. ඒක දවස් 17ක් විතර පැවැත්වෙනවා. එය සැප්තැම්බර් මැද අවසන් කරන්නට නියමිතයි. විදේශීය ක්‍රීඩකයන් සියලුදෙනාම පාහේ පැමිණෙන බවට මේ වන විට තහවුරුකර අවසන්.’ යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරියකු මේ සම්බන්ධයෙන් ‘අරුණ’ට පැවසීය. පසුගිය 20 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය නිල වශයෙන් කල් තැබීමත් සමග ලෝකයේ ක්‍රිකට් පාලක මණ්ඩලවලට තම තමන්ගේ තරගාවලි වැඩි පැහැදිලිකමකින් යුතුව සංවිධානය කිරීමේ අවස්ථාව උදා වුණි. මේ අතර කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලිය අගෝස්තු 18 සිට සැප්තැම්බර් 10 දක්වා ට්‍රිනිඩෑඩ්හිදී පැවැත්වීමට දැනටමත් තීරණය වී අවසන්ය. මේ අනුව අගෝස්තු 28 දා ඇරඹෙන එල්.පී.එල්. තරගාවලිය එම වකවානුවේම පැවැත්වීමට හැකි වුවහොත් කෝවිඩ් වසංගතයෙන් පසුව ආසියාතික කලාපයේ පැවැත්වෙන විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය එය වනු ඇත. අයි.පී.එල්. ආකෘතියට සමානව නිර්මාණය කළ මෙම දේශීය තරගාවලිය 2012 වසරේදී ඇරුඹුණේ ශ්‍රී ලංකන් ප්‍රිමියර් ලීග් (එස්.එල්.පී.එල්) නමිනි. ඒ වසරේ ශූරතාවය තිළිණ කන්ඩම්බිගේ නායකත්වයෙන් යුත් ඌව නෙක්ස්ට් කණ්ඩායම විසින් දිනාගනු ලැබීය. ඉන් පසුව නැවතත් පැවැත්වූයේ නැත. මෙවර පැවැත්වීමට නියමිත තරගාවලියේ අධ්‍යක්ෂ ලෙස රසල් ආනෝල්ඩ් නම්කර ඇති බව පසුගියදා වාර්තා විය. රේවත එස්. සිල්වා
 

More News..