brand logo

එන්නත විදගත් පමණින් කොවිඩ් ඉදිරියේ වීරයෝ වෙන්න හදන්න එපා

04 March 2021

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොවිඩ් 19 රෝගයෙන් මිදීමට මේ වන විට ලොව පුරා එන්නත්කරණ වැඩපිළිවෙළට අනුගත වී සිටී. ඒ අනුව ශ්‍රී ලංකාව තුළත් එන්නත්කරණ වැඩපිළිවෙළ පසුගියදා ආරම්භ වූයේ ඉන්දියාවෙන් ප්‍රදානයක් ලෙස ලැබුණු ඇස්ට්‍රාසෙනෙකා කොෆිෂීල්ඩ් එන්නත් ලක්ෂ 5ක ප්‍රමාණයත් සමගය. අනතුරුව ඉන්දියාවෙන් ඇණවුම් කළ ලක්ෂ 5ක එන්නත් තොගය පොදු ජනතාවට ලබා දීම මේ වන විට ආරම්භ කර තිබේ. මේ එන්නත්කරණ වැඩසටහන අර්බුද මැද පවත්වාගෙන යාමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සිදු ඇතැයි වාර්තාවේ. මේ සම්බන්ධයෙන් අප  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකි. දැනට ගෙනයන එන්නත් කරන වැඩසටහන සාර්ථකව ඉදිරියට ගෙන යන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් වෘත්තීය සමිති සහ පුද්ගලයන් කියන්නේ එන්නත්කරණ වැඩපිළිවෙළ අයාලේ යන්නක් බවයි. මෙහි සත්‍ය අසත්‍යතාවය කුමක්ද? එන්නත්කරණ වැඩසටහන ආරම්භක අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ මාර්ගෝපදේශ සහ උපදෙස් මත ක්‍රියාත්මක වුණා. අපි ඉතා සාර්ථකව වැඩසටහන කරගෙන ගියා. ඒත් දැන් දැන් මේ වැඩසටහන යම් තරමකට අයාලේ යන තත්ත්වයකට පත්වෙලා තියෙනවා. එන්නත්කරණ වැඩපිළිවෙළ සෞඛ්‍ය උපදෙස්වලට අනුව ක්‍රියාත්මක වුණා නම් ඇයි හිටිහැටියේ අයාලේ යන්න පටන් ගත්තේ? අපි ලෝක සෞඛ්‍ය සංවිධානයට යවලා තිබුණා කිසියම් සැලැස්මක්. ඒ සැලැසුම් ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිඅරගෙන තිබුණා. ඒ සැලැස්මට අනුව වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට මුලින්ම එන්නත් ලබා දෙන්න කටයුතු කර තිබුණේ. නමුත් ඒ සැලැස්ම හිටිහැටියේම ව්‍යර්ථ වුණා. ව්‍යර්ථ වුණා කියලා ඔබ අදහස් කළේ කුමක්ද? සෞඛ්‍ය අමාත්‍යාංශය ලක්ෂ 5ක එන්නත් තොගයක් ඉන්දියාවෙන් ගෙන්වා ගත්තා. මම මේ කතා කරන්නේ මුලින් අපිට ඉන්දියාවෙන් ලැබුණ ලක්ෂ 5ක ප්‍රදානය ගැන නොවෙයි‍. මෙසේ දෙවනුව අපි ගෙන්වා ගත් ලක්ෂ 5ක තොගය අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ලබා දෙන්න සැලසුම් කරලා තියෙද්දි හිටිහැටියේම වයස් සීමාව අවුරුදු 30ට වැඩි ලෙස වෙනස් වුණා. මේ නිසා අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ගෙන් කොටසකට එන්නත ලබා දෙන්න බැරිවුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙවැනි තාක්ෂණික තීරණ හිටිහැටියේ වෙනස් කරන්න පුළුවන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාටද? නැතිනම් වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානීන්ටද? මේක අපිටත් ගැටලුවක්. හැබැයි අපිට නිවැරදිවම කියන්න පුළුවන් මේ තීරණයන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෝ වසංගත රෝග විද්‍යා අංශයෙන් ගත් තීරණයන් නොවෙයි කියලා. එහෙම නම් මෙම තීරණයන් කාගේ කියලද ඔබ විශ්වාස කරන්නේ? අපිට යම් විශ්වාසයක්  තියෙනවා මේ තීරණයන් පිටුපස දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වෙනවා කියලා. මේ තීන්දු තීරණ වෙනස් කරන්න දේශපාලන මැදිහත් වීමක් තිබෙන බවට ඔබ විශ්වාස කරන්නේ කුමන පදනමකින්ද? කොළඹ මහ නගර සීමා බල ප්‍රදේශය තුළ එන්නත්කරණ වැඩසටහන තම තමන්ගේ බලප්‍රදේශයන් තුළ පවත්වන්න කියලා ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥයන් අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලපෑම් කළ අවස්ථාවන් ඕනෑ තරම් තියෙනවා. ඒ අයගේ ඡන්දදායකයන්ට මුලින්ම එන්නත විදගන්න උත්සහ කරනවා. එහෙමත් නැතිනම් ඒ අයගේ පෞද්ගලික හිතවතුන්ට මුලින්ම එන්නත ලබා දෙන්න කියලත් බලපෑම් කර තිබෙනවා. එන්නත මුලින්ම ලබා දිය යුත්තේ කාටද කියලා තීරණය කරන්න දේශපාලනඥයන්ට තියෙන සුදුසුකම මොකක්ද? අපිටත් තියෙන ගැටලුව ඒක තමයි. එන්නතක් මුලින්ම ලබා දිය යුත්තේ කාටද කියලා තීරණය කරන්න ඕනෑ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එහෙමත් නැතිනම් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානීන්. නමුත් අද තීරණ ගන්නේ ඒ කොට්ඨාස දෙකම නෙවෙයි. ඔබ එහෙම සඳහන් කළාට පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා චක්‍රලේඛයක් නිකුත් කළා නේද වයස අවුරුදු 30ට වැඩි  අවදානම් ග්‍රාමසේවා නිලධාරී කොට්ඨාසවල සිටින පුද්ගලයන්ට එන්නත ලබා දෙන්න කියලා. එහෙම චක්‍රලේඛන නිකුත් කරද්දී ඔබ කොහොමද කියන්නේ දේශපාලන බලපෑම් තියෙනවා කියලා... සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ චක්‍රලේඛය නිකුත් කළේ කිසියම් දේශපාලන බලපෑමක් හේතුවෙන්. මේක සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගත් තීරණයක් නෙවෙයි. කිසියම් දේශපාලන බලපෑමක් මත ගත් තීරණයක් ඒ සම්බන්ධයෙන් අපේ බරපතළ සැකයක් තියෙනවා. එන්නත ලබාදිය යුතු වයස් කාණ්ඩයන් තීරණය කරන්නේ වසංගත රෝග විද්‍යා අංශය මගින් නමුත් ඒ අය මේ තීන්දු තීරණයන් ගැන දැනුවත් නැහැ. කොවැක්ස් ව්‍යාපෘතිය යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් රටේ ජනගහනයෙන් සියයට 20ක ප්‍රතිශතයකට එන්නත ලබා දීමට තීරණය කර තිබෙනවා. මේ එන්නත්වලටත් දේශපාලන බලපෑම් ඇති වෙයි කියලා ඔබ හිතනවාද? ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මේ එන්නත් ප්‍රමාණය ලබා දෙන්නේ රටේ වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයන් සඳහායි. ඒ එන්නත් ප්‍රමාණය නියමිත වයස් කාණ්ඩයන්ට ලබා දෙන්න අපි සැදී පැහැදී සිටිනවා. යම් හේතුවකින් මෙයටත් දේශපාලන බලපෑමක් ආවොත් අපි සම්පූර්ණයෙන්ම එන්නත්කරණ වැඩසටහනින් ඉවත් වෙනවා. අනික අපිට ලැබෙන එන්නත් ප්‍රමාණය ඉතාමත් සීමිතයි. ඒ සීමිත එන්නත් ඵලදායී ආකාරයක ජනතාවට දෙන්න අපි සෑම උත්සහයක්ම ගන්නවා. ඒත් එක්කම යම් වෙනස්වීමක් එන්නත්කරණ වැඩසටහනේ සිදුවුණොත් එය කළ යුත්තේ  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා හෝ වසංගත විද්‍යා අංශයේ නිලධාරීන් මගින්. ඒකත් තාක්ෂණික නිර්දේශ මත විය යුත්තක්, එහෙම නැතිව දේශපාලන අධිකාරියේ මැදිහත් වීම මත නොවිය යුතුයි කියලා අපි අවධාරණයෙන්ම කියනවා. එන්නත් වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින උනන්දුව කොයි වගේද? එන්නත ලබා ගැනීමට ජනතාව තුළ විශාල උනන්දුවක් තියෙනවා. ඔවුන් පෞද්ගලික සම්බන්ධතාවන් හෝ දේශපාලන සම්බන්ධතාවන් භාවිත කරලා එන්නත ලබා ගැනීමට කටයුතු කරනවා. කොහොම නමුත් ජනතාව දේශපාලන සම්බන්ධතා හෝ පුද්ගලික සම්බන්ධතාවන්ගෙන් තොරව නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සාමාන්‍ය විදිහට ඇවිත් එන්නත විදගන්නවා නම් මේ කිසිම ගැටලුවක් නැහැ. මෙතරම් දැනුවත් කර තිබියදීත් ජනතාව මේ දේ තේරුම් ගන්නේ නැතිද? නැතිනම් තේරුම් ගන්න අවශ්‍ය නැතිද? මම නම් හිතන්නේ දැනට ලැබිලා තියෙන එන්නත ප්‍රමාණය සීමිත නිසා ජනතාව හිතනවා ඉක්මනින් එන්නත විදගත්තොත් හොඳයි කියලා. ඒ නිසාම තමයි දේශපාලනඥයනුත් තමන්ගේ ඡන්දදායකයන්ට මුලින්ම අවස්ථාව දෙන්න කියන්නේ. කොහොම නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශට ඉල්ලුම් කර තිබෙන එන්නත් ප්‍රමාණය ඉක්මනින් ලැබෙනවා නම් මේ තදබදය හෝ ගැටලුකාරී තත්ත්වය මගහැරෙයි. මෙතෙක් ක්‍රියාත්මක කළ එන්නත්කරණ වැඩසටහන තුළදී දරුණු ගණයේ අතුරු ආබාධ වාර්තා වී තිබෙනවාද? සාමාන්‍යයෙන් ඕනෑම එන්නතක් ලබාදුන් පසුව එම වයිරසයට විරුද්ධව ශරීරයේ ප්‍රතිදේහ නිපදවීමේ ක්‍රියාවලියක් සිදුවෙනවා. ඒ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට උණ, ඇඟපත වේදනාව, හිසරදය, වමනය වගේ සුළු සුළු අපහසුතාවන් ඇතිවෙනවා. මේක සාමාන්‍ය තත්ත්වයක්. නමුත් ඊට වඩා දරුණු ගණයේ අසාත්මිකතාවන් මෙතෙක් වාර්තා වී නැහැ. අනික අපි මේ එන්නත කිසිම පුද්ගලයකුට බලෙන් දෙන්නේ නැහැ. කරුණු කාරණා පැහැදිලි කරලා ඒ අය කැමති නම් පමණයි ලබා දෙන්නේ. මේ එන්නත සම්බන්ධයෙන් ලෝකයේ රටවල් කීපයක් පර්‌යේෂණ සිදුකරලා ඒ රටවල්වල භාවිත කර තිබෙනවා. ඔවුන්ට දරුණු ගණයේ අතුරු ආබාධ මතුවෙලා නැහැ‍. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ඒ බව තහවුරු කරලා ති‌යෙනවා. කොහොම නමුත් මේ එන්නත මෙරටට ගෙන ඒමට කලින් එන්නත නිෂ්පාදනය කිරීමට අදාළ පර්‌යේෂණ ලියකියවිලි සියල්ලම ජාතික ඖෂධ අධිකාරියේ විශේෂඥ තාක්ෂණික කමිටුවේ පූර්ණ අධීක්ෂණයට ලක්කරලයි තියෙන්නේ. එන්නතේ පළමු මාත්‍රාව ලැබුණු සැණින් රෝගයෙන් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය රැකවරණය ලැබෙන බවට ඇතැම් අය තුළ විශ්වාසයක් පවතිනවා. මේ නිසාම ඔවුන් මෙතෙක් අනුගමනය කළ සියලුම සෞඛ්‍ය උපදෙස් අමතක කිරීමට කටයුතු කරනවා. මේක කොයිතරම් දුරට යෝග්‍යද? පළමු මාත්‍රාව දීලා සති 4ක් ගතවෙනවා කොවිඩ් වයිරසයට විරුද්ධව ශරීරයේ ප්‍රතිශක්තියක් ගොඩනැගෙන්න. ඒ කාලය තුළ යම් රෝගියෙකුට නැවත රෝගය බෝවෙන්න හැකියාව අනිවාර්‌යෙන්ම තියෙනවා. ඒ නිසා අපි කියන්නේ එන්නත ලබා ගන්න සායනයන් වෙත ආ විට පොකුරු ගැහිලා ඉන්න එපා. දේශපාලන බලපුළුවන්කාරකම් හෝ හිතවත්කම් පෙන්වා පොරකාගෙන පෝලිමේ ඉදිරියට ඇවිත් එන්නත විදගන්න උත්සහ කරන්න එපා. එහෙම වුණොත් මේ ඇතිවුණ රෝගී පොකුරු අතරට ‘එන්නත් පොකුරක්’ එක්වීම වළක්වගන්න බැරිවෙයි. තවත් දෙයක් කියන්න තියෙනවා. මොකද එන්නත් ලබා ගැනීමට ආ විට සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසියාකාරව පිළිපදින්න. කොවිඩ්-19 වයිරසය කියන්නේ ක්ෂණයකින් වෙනස් වීමට ලක්වෙන වයිරසයක්. ඒ නිසා යම් හේතුවකින් අප රට තුළත් වයිරසයේ යම් වෙනස් වීමක් සිදුවුණොත් ඒක මේ එන්නතට ඔරොත්තු නොදෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි ගන්නා මේ මහන්සිය හා එන්නතට වැය කරන විශාල මුදල අපතේ යනවා. අද අප්‍රිකානු රටවලට වෙලා තියෙන්නේ මේ වගේ අවාසනාවන්ත තත්ත්වයක්. අනික වයිරසයේ වෙනස්වීම සම්බන්ධයෙන් අපට පර්‌යේෂණ සිදුකරන්න තියෙන පර්‌යේෂණාගාර ඉතාමත් අතළොස්සයි‍. ඒ නිසා හැම විට සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කරනවා නම් කොවිඩ්-19 සමග ජීවත් වෙන එක අපට ගැටලුවක් වෙන්නේ නැහැ. අවාසනාවට මිනිසුන්ට මේ දේවල් හරි ඉක්මනට අමතක වෙනවා. ඒ දේ නැවත මතක් කර දුන්නාමත් සමහර අයට කේන්ති යනවා. අපිට බැණ තර්ජනය කළ අවස්ථාවන් තියෙනවා. සටහන - ශ්‍රියානි විජේසිංහ
 

More News..