brand logo

එන්නත නොදීමෙන් ග්‍රාම නිලධාරීන් දැඩි අවදානමක

17 May 2021

දිවයිනේ සියලුම ග්‍රාම නිලධාරීන් හට කොවිඩ් එන්නත ලබා නොදුනහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹෙන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති ඩබ්ලිව්.ජී.කමල් කිත්සිරි “අරුණ”ට පැවසීය. සභාපතිවරයා පෙන්වා දෙන්නේ මෙරට තුළ සමස්ත ග්‍රාම නිලධාරීවරුන් දොළොස් දහසක් රාජකාරියේ නිරත වන බවත් ඉන් නිලධාරීන් එක්දහස් පන්සීයයක් පමණ කොවිඩ් එන්නත ලබා ගෙන ඇති බවත්ය. රජයේ මැදිහත්වීමකින් සමස්ත ග්‍රාම නිලධාරීන් හටම කොවිඩ් එන්නත ලබාදීමේ වැඩපිළිවෙළක් මේ වනවිටත් ක්‍රියාත්මක නොවන බව පෙන්වා දුන් සභාපතිවරයා, අදාළ නිලධාරීන් එක්දහස් පන්සීය දෙනාම කොවිඩ් එන්නත ලබා ගෙන ඇත්තේ තම පදිංචි ප්‍රදේශවල එන්නත්කරණ වැඩසටහන්වලට සහභාගි වීමෙන් බවද පැවසීය. හුදෙකලා කර ඇති ප්‍රදේශවල මහජනතාවට සහ නිරෝධායනය වන පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමේ ක්‍රියාවලියේ ඉදිරිපෙළ සාමාජිකයන් ලෙස කටයුතු කරන ග්‍රාම නිලධාරීන් හට නිසි ක්‍රමවේදයකට අනුව කොවිඩ් එන්නත ලබා නොදීමෙන් ඔවුන් දැඩි අවදානමකට ලක්ව ඇති බවද හෙතෙම සඳහන් කළේය. මේ පිළිබඳ අවස්ථා කිහිපයකදීම අදාළ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කළද ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අවධානයක් යොමු නොවූ බවද සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි. චාමර පල්ලේගෙදර
 

More News..