brand logo

එන්නත් ගබඩාවක කොරෝනා එන්නත් මාත්‍රා විනාශ වෙලා

21 January 2021

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ Silchar වෛද්‍ය විද්‍යාල රෝහලේ එන්නත් ගබඩාවේ කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා 1000ක් පමණ විනාශයට පත්ව ඇත. සොයාගන්නා විට ඒවා අධික ශීත තත්ත්ව යටතේ මිදීමට ලක්ව තිබිණි. එම එන්නත් ගබඩා කළ යුතුව තිබුණේ සෙල්සියස් 2ත් 8ත් අතර උෂ්ණත්වයක් යටතේ වුවද ඒවා ගබඩා කර තිබී ඇත්තේ සෙල්සියස් ඍණ උෂ්ණත්වයකය. මෙය ශීතකරණයේ කාර්මික දෝෂයක් නිසා ඇති වූ තත්ත්වයක් විය හැකි බව ප්‍රකාශ කළ කඩාර් දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය බලධාරියකු මෙම එන්නත් නියමිත උෂ්ණත්වය යටතේ ගබඩා කරන බවද යම් උෂ්ණත්ව වෙනසක් සිදුවුවහොත් අදාළ ශීතකරණය මගින්ම පණිවිඩයක් යොමුකරන බවද පැවසීය. එවැනි පණිවිඩයක් නොලැබී‍මෙන් මෙය අදාළ ශීතකරණයේ දෝෂයක් නිසා සිදුවූවක් වන්නට ඇති බව ඔහු පවසයි. එම විනාශ වූ එන්නත් තොගය වෙනුවට නව එන්නත් 1000ක් එම වෛද්‍ය විද්‍යාල රෝහලට ලබාදීමට ඇසෑම් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඒ සමගම මේ පිළිබඳ රෝහල් බලධාරීන්ගෙන් වාර්තාවක් කැඳවීමටද පියවර ගෙන තිබේ. ධම්මික සෙනෙවිරත්න
 

More News..