brand logo

එදා මම අම්මව බදාගෙන කෑගහලා ඇඩුවා

06 March 2022

මේ දිනවල රිදී තිරය සරසන සිනමා නිර්මාණය වෙන්නේ තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂණය කරනු ලැබූ ආශාවරීය. ඇය සැබවින්ම යෞවනයේ පසුවන සුන්දර රුවැත්තියක්. ඒ නිසාම ඇය ගැන දැනගන්න කැමැති ඇතිනෙ. ඒ නිසා පිනිපලසෙන් අපි ඉෂංකා ජාන්වී (ආශාවරී) සමග කතා කළා. ඔබේ පවුලේ විස්තර කිව්වොත්... අම්මා, තාත්තා සහ මල්ලි. මගේ තාත්තා පොලිසියේ සේවය කරන්නේ. මගේ අම්මා කලින් ශ්‍රී ලංකා පොලිස් සේවයේ නිරතව සිටියා. දැන් නම් ගෘහණියක්. පාසල් කාලයේ කොහොමද ඉෂංකා.. තාත්තාගේ රැකියාවේ ස්වාභාවය නිසා පාසල් තුනක පමණ ඉගෙන ගත්තා. අන්තිමට ගියේ ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයට. මම ඉගෙනුමට වඩා බාහිර ක්‍රියාකාරකම්වලට තමා වැඩියෙන්ම නැඹුරු වෙලා හිටියේ. දඟකාර චරිතයක් කිව්වොත් තමා වඩාත් නිවැරැදියි. පාසල් කාලයේ අමතක නොවන මතක ඇති අපි යන්නේ සිසු සැරිය බස්වල. ඒ බස්වල අපි එද්දී පිරිමි පාසල්වල ළමුන්ගේ බස් අපිට මගදී හම්බෙනවා. ඒ දවස්වල අපි කරන සුන්දර වැඩක් තමයි බස්වලට වතුර ගහන එක. ඒ බස්වල යන අය අපේ බස් එකට වතුර ගහනවා. ඉතින් මමත් වතුර බෝතල් පුරවගෙන ඉන්නේ වතුර ගහන්න. අද ඒ දේවල් මතක් වෙද්දී බොහොම සුන්දරයි. ගෙදරදී කොහොම චරිතයක්ද? ගෙදර කියලත් වෙනසක් නැහැ. හරිම දඟ ළමයෙක් තමයි. මායි මල්ලිගෙයි වැඩේම මොකක් හරි එකකට රණ්ඩු වෙන එක. අම්මා ඇවිත් ඉතින් රණ්ඩු බේරනවා. කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද? මුලින්ම කලාවට සම්බන්ධ වෙන්නේ මගේ තාත්තා. ඒත් තාත්තාගේ රැකියාවේ ස්වාභාවය නිසා කලාවට සම්බන්ධ වෙන්න ලැබුණු අවස්ථාවන් මගහැරිලා. ඊට පස්සේ පුංචි කාලේ ඉඳන්ම මමයි මල්ලියි වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වුණා මේ වෙද්දී වෙළෙඳ දැන්වීම් කීයක් විතර කරලා තියෙනවද? මේ වෙද්දී වෙළෙඳ දැන්වීම් 30ක් විතර කරලා තියෙනවා. රංගනයෙන් දායක වූ පළමු නිර්මාණය මොකක්ද? මගේ මුල්ම නිර්මාණය Solar Eclipse: Depth of Darkness කියන හින්දි චිත්‍රපටය. ඒ වෙනුවෙන් ලොව පුරා ඉන්න නළු නිළියන් යොදා ගත්තා. එතැනදී මටත් අවස්ථාව ලැබුණා රංගනයෙන් දායක වෙන්න. මගේ ප්‍රථම ශ්‍රී ලාංකික සිනමා නිර්මාණය තේජා ඉද්දමල්ගොඩ සර්ගේ ‘ආශාවරී’ චිත්‍රපටය. කොහොමද ආශාවරී වෙන්න අවස්ථාව ලැබුණේ? මම ශිවන්ත ප්‍රනාන්දු අයියා ගායනා කළ ‘පුංචි කතාවක්’ ගීතයේ රූප රචනාවට සම්බන්ධ වුණා. එය අධ්‍යක්ෂණය කළේ මිහිර බණ්ඩාර මහතා. ඒ රූප රචනාව දැකලා තමයි අලුත් චිත්‍රපටයක තිර පරීක්ෂණයකට එන්න කියලා මට කතා කළේ. එතකොට මම උසස් පෙළ ලියන්න ලෑස්ති වෙලා හිටියේ. ඒ නිසා මම පොඩ්ඩක් යන්නත් අදිමදි කළා. ඒත් මගේ අම්මා මාව උනන්දු කරලා තාත්තා එක්ක තිර පරීක්ෂණයට යැව්වා. එදා ලොකු උනන්දුවක් තිබ්බේ නැහැ. මම ගියේත් පන්ති යන විදියට ටීෂර්ට් එකයි ඩෙනිම් එකයි ඇඳලා සපත්තු දාලා. හැබැයි මම ඒ ඇඳන් ගිය විදිය ඒ චරිතයට හරියටම ගැළපුණා. මොකද ආශාවරී කියන්නේ දඟකාර ආදරණීය චරිතයක්. මම තිර පරීක්ෂණය කළේ ප්‍රවීණ සිනමා කැමරාවේදී රුවන් කොස්තා මහතා සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ඉදිරියේ. ඒ අයව දැක්කෙත් ජීවිතේ පළමු වතාවට. තිර පරීක්ෂණයෙන් පස්සේ තේජා සර් මාවත් තාත්තවත් කැඳවලා කිව්වා දුවව ආශාවරී චරිතයට තෝරා ගත්තා කියලා. ඒ මොහොතේ මොකද හිතුණේ.. ලොකු සතුටක් දැනුණා. ඒ සතුට හිතේ තියාගෙන ගෙදර ඇවිත්, අම්මව බදාගෙන කෑගහල අඬල කිව්වා මාව චිත්‍රපටයට තේරුණා කියලා. මට වගේම අම්මටත් එදා ගොඩක් සතුටු දවසක්. මොකද හිතුණේ චිත්‍රපටයේ කණ්ඩායම ගැන දැනගත්තම ආචාර්ය ජයලත් මනෝරත්න සර්, හේමාල් රණසිංහ, බිමල් ජයකොඩි, සාරංග දිසාසේකර, ජයනි සේනානායක, සේමිණි ඉද්දමල්ගොඩ වගේ ලංකාවේ ප්‍රවීණයන් සමග මගේ පළමු සිනමා නිර්මාණයේ වැඩ කරන්න ලැබීම මම දකින්නේ මට ලැබුණු භාග්‍යයක් විදියට. ඒ නිසා ඒ ගැන මට හැමදාම තියෙන්නේ නිහතමානී සතුටක්. ආශාවරීහි අත්දැකීම කොහොමද? මම ආශාවරී චරිතය කරද්දී වයස අවුරුදු 19යි. උසස් පෙළ විභාගය ලිව්වා විතරයි. උසස් පෙළ විභාගයට පසු දිනම මම ගියේ ආශාවරී චිත්‍රපටයේ රූපගත කිරීම්වලට දියතලාවට. ඒකාලයේ තිබ්බ දැනුම සහ අත්දැකීම්වලට අනුව උපරිම සාධාරණයක් ඉටු කළා කියලා මම අද හිතනවා. මුලින්ම දර්ශන තලයට යද්දී මොකද හිතුණේ ආශාවරී කියන්නේ ලංකාවේ ප්‍රවීණ දැවැන්ත චරිත එක්ක නිර්මාණය වූවක්. මට එදා දැනුණේ මා ඉදිරියේ විශාල අභියෝගයක් තියෙනවා කියලා. ප්‍රවීණ නළු නිළියන් ඉදිරියේ මම සියයට සීයක් සාර්ථක වෙන්නේ කොහොමද කියන එක සහ ඒ අය මට කොහොම ප්‍රතිචාර දක්වයිද කොහොම මාව පිළිගනීද කියලා මගේ හිතේ චකිතයක් තිබ්බා. නමුත් තේජා සර් මට ආශාවරී චරිතයට අවශ්‍ය දැනුම පෙර පුහුණුව සහ මානසික ශක්තිය නිරන්තරයෙන් ලබා දුන්නා. කොහොමද හේමාල්ගෙන් ලැබුණු සහයෝගය හේමාල් අයියා කියන්නේ හරිම නිහතමානී ආදරණීය චරිතයක්. ඒ වගේම හේමාල් අයියා කියන්නේ ලාංකීය සිනමාවට ඉන්න ලොකු සම්පතක්. මම ආශාවරී රූගත කරන කාලේ හිටියේ දඟකාර මානසිකත්වයෙන්. මොකද ඉස්කෝලේ ගිහින් ඉවර වුණා විතරයිනේ. ඒ නිසා මම හිතන්නේ අයියට ටිකක් අමාරු වුණා මාත් එක්ක ගනුදෙනු කරන්න. මොකද මම ගස් ගල් කෑම ජාති අල්ලලා අයියගේ ටීෂර්ට් අල්ලනවා. අයියගේ sun glas එකක් කැඩුණා. අත වැදිලා නහය තුවාල වෙලා තියෙනවා. ඒ වගේම චරිතයට අවධානය දෙන්නේ නැතුව බැණුම් අහලත් තියෙනවා. ඒ වගේ සුන්දර මතකයන් තියෙනවා. ඒ වගේම මට ආශාවරී චරිතය කරන්න ලොකු සහයෝගයක් දුන්නා. ඒ වගේම අදටත් මම හේමාල් අයියාගේ ලොකු රසිකාවියක්. හේමාල්ගේ පෙම්වතියක් වෙන්න ඔබත් සිහින මැව්වද? මම පාසල් යන කාලයේ ඉඳන් කැමැතිම දෙන්නෙක් තමයි ආචාර්ය ජයලත් මනෝරත්නයන් සහ හේමාල් රණසිංහ කියන්නේ. ඒ වගේම පන්ති කට් කරලා යාළුවො එක්ක හේමාල් අයියා හිටිය ෆිල්ම් බලන්නත් ගිහින් තියෙනවා. ඒ කාලයේ සිටම මගේ ආසාවක් තිබ්බා කවදා හරි හේමාල් අයියා එක්ක රඟපාන්න ඕනේ කියලා. තිරයේ ප්‍රේමණීය චරිත මවද්දී අමතක නොවන සිදුවීම් මොනවද? ඒ හැම මොහොතක්ම සුන්දර මතක. මට මගේ චරිතය තුළ ප්‍රේමණීය වෙන්න ඕනේ තැන් කියලා දුන්නේ තේජා සර්. එයා මට ආදරය කරන විදිය හරි ලස්සනට කියලා දුන්නා. තේජා සර් හරිම ආදරණීයයි. ඒ වගේම මේ වෙලාවේ මතක් කරන්නම ඕනේ ආශාවරි චිත්‍රපටයේ තිරෙන් පිටුපස සිටි හැමෝම. රනේෂ්ගේ වගේ ආදරයක් ද සැබෑ ජීවිතේටත් බලාපොරොත්තු වෙන්නේ? රනේෂ්ගේ වගේ ආදරයක් ලැබෙනවා නම් හැම ගැහැනු ළමයෙක්ම කැමැති වෙයි. මොකද රනේෂ් ආශිට ගොඩක් ආදරෙයි. රනේෂ් කියන්නේ මොන තරම් බාධක ආවත් ආශිව තනි නොකරන කෙනෙක්. ඒ වගේම රනේෂ් කියන්නේ නුවර වංශවත් පවුලක ගාම්භීර පෙනුමක් තියෙන යුද හමුදා නිලධාරියෙක්. හැබැයි නිල ඇඳුමට යටින් ඉන්නේ ප්‍රේමණීය පෙම්වතෙක්. ඒත් ආශි කියන්නේ දෙමළ කෙල්ලෙක්. ඒ ආදරය කොහොමද ඉදිරියට යන්නේ කියලා සිනමා ශාලාවට ඇවිත් බැලුවොතින් හොඳයි කියලයි මම හිතන්නේ. මම හිතනවා අපේ ආදර කතාවට ඔයාලත් ආදරේ කරයි කියලා. චිත්‍රපටයේ කැමැතිම දෙබස? කැමැතිම දෙබස් කිහිපයක්ම තියෙනවා. එක දෙබසක් තමයි. ආදරය... මම ආදරේටත් හොරෙන් රනේෂ් කොල්ලට ආදරේ කරනවා සදහටම. බිංදු බිංදු රොන් සිංදුව රූප ගත කරද්දී ස්ටේජ් එකෙන් වැටෙද්දී මොකද හිතුණේ? මතක ගොඩක් තියෙන සින්දුවක්. අපි ගොඩක් පුහුණුවීම් කරලා දැවැන්ත උස වේදිකාවක තමයි එය රූපගත කරේ. එක අවස්ථාවකදී මමත් හේමාල් අයියත් දෙදෙනාම ඒ වේදිකාවෙන් වැටුණා. මේ වෙලාවේ හේමාල් අයියට ස්තුතිවන්ත වෙන්න ඕනේ ඒ වැටෙන වෙලාවේ මාව අතහැරියේ නැහැ. ඒ එක්කම එදා අයියගේ කකුලට සුළු තුවාලයක් පවා වුණා. මනෝරත්න සර් ගැනත් කතා කළ යුතුමයි. අනිවාර්යෙන්ම. ආචාර්ය ජයලත් මනෝරත්න සර් මම දකින්නේ රංග පාසලක් විදියට. මම පාසල් යන අවදියේ නාට්‍යය හා රංග කලාව හදාරලා තියෙනවා. ඒ කාලයේ පවා මම එතුමා ගැන ඉගෙනගෙන තියෙනවා. එතුමාගේ නාට්‍යය බලලා ඒවා ගැන හදාරලා තියෙනවා. මම මනෝරත්න සර් සමග රඟපාන්න හීන මවපු කෙනෙක්. ඉතින් මගේ පළමු සිනමා නිර්මාණයේ මගේ අප්පා විදියට එතුමා රඟපෑම මට ලැබුණු භාග්‍යයක්. ප්‍රේක්ෂකයාට මොනවද කියන්න තියෙන්නේ මේ වෙද්දී ආශාවරී චිත්‍රපටය ලංකාව පුරා තිරගත වෙනවා. ඒ නිසා ආදරණීය ප්‍රේක්ෂකයාගෙන් ආශාවරී විදියට මම ඉල්ලා සිටින්නේ පවුලේ හැමෝටම ආදරෙන් නරඹන්නට හැකි ආකර්ෂණිය සිනමාවක් උදෙසා තේජා ඉද්දමල්ගොඩ සර් ඇතුළු කණ්ඩායම කරපු මේ චිත්‍රපටය බලන්න එන්න. ඒ වගේම ඔබේ ප්‍රතිචාරය අපිට කියන්න. ආදරණීය ප්‍රේක්ෂක ඔබ තමයි අපේ අංක එක. ඒ වගේම මේ වෙද්දීත් කොරෝනා තත්ත්වය සම්පූර්ණයෙන්ම පහව ගිහින් නැති නිසා සෞඛ්‍යාරක්ෂිතව ඇවිත් මේ ආදරණීය චිත්‍රපටය නරඹන්න කියලා බොහොම ආදරෙන් ආරාධනා කරනවා. මම ඔයාලගේ ආදරණීය ආශි. ඉදිරි වැඩ කටයුතු මොනවද? තවත් අලුත් නිර්මාණ දෙකකට මේ වෙද්දී ආරාධනා ලැබිලා තියෙනවා. ඒ එක්කම මම මගේ උසස් අධ්‍යාපන කටයුතුත් කරගෙන යන නිසා ලැබෙන නිර්මාණ එක්ක අධ්‍යාපන කටයුතුත් සමබරව කරගෙන යනවා. සිනමාවට පමණද සම්බන්ධ වෙන්නේ? එහෙම දැනට නම් හිතලා නැහැ. ඉදිරියට එන ආරාධනා එක්ක බොහොම හෙමින් හොඳ ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. පවුලෙන් ලැබෙන සහයෝගය... මගේ අම්මා තමා මගේ ලොකුම ශක්තිය. පොඩි කාලේ ඉඳන්ම අත්පුඩි ගහලා මාව දිරිමත් කරන්නත්. මගේ වැරද්දක් දැක්කත් පෙන්වලා දෙන්නත් මගේ හැම ගමනකම පිටුපස ඉන්න යෝධ ශක්තිය මගේ අම්මා. අම්මා ගෙදර නැති වුණාම මල්ලිව බලාගන්නේ සහ ගෙදර ඔක්කොම වැඩ කරන්නේ මගේ තාත්තා. ඒ නිසා අම්මටත් මටත් මගේ නිර්මාණවල‍ට නිරවුල් මනසින් සහභාගි වෙන්න ඕන පරිසරය නිර්මාණය කරලා දෙන්නේ මගේ තාත්තා. අනූෂා රණසිංහ https://youtu.be/SkUNPnxszDk  
 

More News..