brand logo

එජාප රජයක් බිහි කරන්න සියලු සැලසුම් තනා අවසන්

15 June 2020

නැවත වතාවක් එක්සත් ජාතික පක්ෂ රජයක් බිහිකිරීම ඉක්මණින් සිදුවනවා. 2014 දීත් 2013 දීත් එක්සත් ජාතික පක්ෂ රජයක් බිහිකරන බව පැවසූ විට කිසිවකු එය විශ්වාස කළේ නැහැ. නමුත් 2015දී එය ඉටුවුණා. මෙවර නැවත එක්සත් ජාතික පක්ෂ රජයක් බිහිකිරීම අනිවාර්යයි. ඒ සඳහා ක්‍රමවේදයක් තනා ඇති බවත් ඒ ක්‍රමවේදය මාධ්‍ය ඉදිරියේ නොපවසන බවත් හිටපු අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් පැවසීය. ඒ මහතා එසේ පැවසූයේ බන්දාව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. තව දුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා මෙසේද පැවසීය. කොරෝනා වයිරසය හමුවේ එක්සත් ජාතික පක්ෂය උපරිම සහයෝගයක් රජයට දුන්නා. ඒ රටක් ජාතියක් විදිහට එකමුතුව කටයුතු කරන්න අවශ්‍ය නිසා. නමුත් අපිට පෙනෙනවා රජයේ ක්‍රියාදාමය වෙනස් වෙමින් පවතිනවා. බලන්න රුපියල් 5000 දීමනාව ඒක දේශපාලනීකරණය වුණා. මේ වන විට රජය සියලු දේ මැතිවරණ ඉලක්ක කරගෙන කරමින් පවතින බව අපට පෙනෙනවා. ඒ වගේම මැතිවරණ කොමිසමේ නියෝජිතයකු වන හූල් මහතාට පහර ගසමින් සිටිනවා. ඒ මහතා කීවේ මැතිවරණ පනත අනුවත් විවිධ අක්‍රමිකතා ඇති අයටත්, දූෂිත අයටත්, මිනීමරුවන්ටත් මේ සමාජයට අවැඩ දායක අයට ජන්දය දෙන්න එපා කියලා. ආණ්ඩුව කැමැත්තෙන්ම ඒ තොප්පිය ඔළුවට දා ගත්තා. ආණ්ඩුවේ ප්‍රතික්‍රියාවලින් පෙනෙන්නේ එහෙම අය ආණ්ඩුවේ ඉන්න බවයි. විදෙස් ශ්‍රමිකයන් තමයි මේ රටට විදේශ විනිමය වැඩියෙන්ම ගෙන එන අය. නමුත් අද ඒ අය ලක්ෂ ගණනක් ඒ රටවල හිරවෙලා. සමහර අය මැරිලා. මේ අය ගෙන්න ගන්න රජයට වැඩ පිළිවෙළක් නෑ. නමුත් ජනාධිපතිවරණයට මේ අය විශාල ගුවන් යානා ප්‍රමාණයකින් මේ රටට ගෙන්වා ගත්තා. පෙරටුගාමී පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදීව තම අදහස් ප්‍රකාශ කිරීමක් වුණේ. නමුත් ආණ්ඩුව දරුණු විදිහට පහර දීලා ඒ අය අත්අඩංගුවට අරගෙන තියෙනවා. අපි අපේ රජය කාලේ බොහොම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළේ. අපි ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්නත් ඉඩ දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි වුණු අයටත් අපි අවම මට්ටමින් තමයි ක්‍රියාකළේ. මැතිවරණ ප්‍රමාදය නිසා මේ රජය දිනෙන් දින කඩා වැටෙනවා. ඒ බව රජය දන්නවා. අපි දේශපාලනය කරන්නේ ප්‍රතිපත්ති මත. අපි මෙවර මැතිවරණයට ප්‍රතිපත්ති මත ක්‍රියාකරණ අපේක්ෂකයන් රැසක්ම ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන් හොඳ වියතුන්, උගතුන්, බුද්ධිමතුන්ගෙන් පිරුණු හොඳ කණ්ඩායමක් දාලා තියෙනවා. දැන් අනිත් අයගේ වියත් මග මේවන විට විපත් මගක් වී ඇති බවත් පේනවා. චන්දන ගුණසේකර
 

More News..