brand logo

එජාප පෙරමුණත් අඩපණ වෙයි, රාජිට - චම්පිකට ඇතුළෙන්ම කැපිලි

12 January 2019

ඉදිරි මැතිවරණවලදී මුහුණ දීම සඳහා එක්සත් ජාතික පෙරමුණ යළිත් ගොඩ නැගීමට මූලිකව කටයුතු කළ රාජිත සේනාරත්නට හා පාඨලී චම්පික රණවක යන අයට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ලවීම නිසා එම පෙරමුණේ වැඩකටයුතු අඩාළවී ඇති බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි පෙළ නායකයින්ගේ වුවමනාව මත එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ඊට විරෝධය දක්වා ඇත. නම හෙළි කිරීමට අකැමැති වූ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරයෙක් සඳහන් කළේ රාජිත හා චම්පික සූදානම් වන්නේ සිය මන්ත්‍රීවරුන්ගේ කරෙන් ගොස් පක්ෂයේ බලය ඇල්ලීමට බවයි. ‘‘ආයේ අපි රැවටෙන්නේ නැහැ. අලුත් පෙරමුණ කීවට මේකට අලුතෙන් කවුරුවත් එකතු වන පාටක් නෑ. පසුගිය මැතිවරණයේ හිටි පක්ෂමයි ඉන්නේ. මේ දෙන්නා ලෑස්ති වෙන්නේ පක්ෂයේ බලය අල්ලන්න. ඒනිසා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුත්තේ අපේක්ෂකයෙක් මිස එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයෙක් නෙවෙයි.’’ යැයි මන්ත්‍රීවරයා පැවැසීය. මේ සම්බන්ධයෙන් පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැති එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ රැස්වීමෙන් පසුවද පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් එක්ව සාකච්ඡා කර ඇති බව වාර්තා වේ. මේ අතර පසුගිය 07 වැනි දින පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය සුජීව සේනසිංහ පැවැසුවේ හවුලේ කැඳ හැමදාම අවුරුදු දෙක තුනක් බැවින් පක්ෂයක් හැටියට නායකයා ජනාධිපතිවරයා ලෙස ඉදිරිපත් විය යුතු බවයි. සරත් ෆොන්සේකා දිනුවත් එවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබූ බවත් චම්පික රණවක මහතා ජනාධිපතිවරණයට සුදුසු නොවන බවත් සඳහන් කළේය.
 

More News..