brand logo

එජාප ප්‍රාදේශීය සභා 21 ක බලය පොහොට්ටුවට

23 March 2019

එක්සත් ජාතික පක්ෂය බලය පිහිටුවා ඇති පළාත් පාලන ආයතන 21 ක බලය පෙරළා දමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහායෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා ගැනීමට සැලසුම් කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ලැබූ පළාත් පාලන ආයතන 21 ක බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් එක්ව බලය පිහිටුවා තිබේ. ඒ ආකාරයට හම්බන්තොට නගර සභාවේ බලය ශ්‍රීලනිපය පිහිට වූ අතර තංගල්ල හා කටුනායක - සීදුව නගර සභාවල බලය එක්සත් ජාතික පක්ෂය පිහිටවීය. එම ආයතනවල බලය පෙරළා දැමීම මූලික පියවර ලෙස කළ යුතු බවද පොදුජන පෙරමුණේ නියෝජිතයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන්ට පෙන්වා දී ඇත. මෙම කරුණු ඉටුකිරීම ශ්‍රීලනිපයේ කැපවීම පෙන්වන කරුණක් බව පොදුජන පෙරමුණු නියෝජිතයන් එහිදී පෙන්වා දී ඇත. ආණ්ඩුවට එරෙහි පුළුල් ජාතික සන්ධානයක් ගොඩනැගීමේ මූලික පියවරක් ලෙස පසුගිය බ්‍රහස්පතින්දා (21) වැනිදා පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා පොදුජන පක්ෂය දෙවන වරට පැවති සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. මෙම සාකච්ඡාවේ අනික් ප්‍රධාන කරුණ ලෙස පෙන්වා දී ඇත්තේ අයවැය කාරක සභා අවස්ථා අවසන් ඡන්දය පැවැත්වෙන අප්‍රේල් 05 වැනි දින ඊට විරුද්ධව ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඡන්දය ලබා දීමයි. දෙවැනි වර අයවැය කියවීමේ ඡන්ද විමසීමේදී ද ඊට විරුද්ධව ඡන්දය ලබා දීමට එම මන්ත්‍රීවරුන් තීරණය කර සිටියද ඡන්දය පැවති පසුගිය 11 වැනි දින ඔවුන් එය මගහැර යාමටයි. දෙපාර්ශ්වය අතර බ්‍රහස්පතින්දා (21දා) අතර පැවති සාකච්ඡාවේදී මූලික කරුණු 20 ක ප්‍රතිපත්ති රාමුවකට පැමිණ ඇති අතර තුන්වැනි වටයේ සාකච්ඡා අප්‍රේල් 10 වැනිදා පැවැත්වීමට දෙපාර්ශ්වයේම නියෝජිතයන් තීරණය කොට ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, හිටපු මහ ලේකම් ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ආචාර්ය ජගත් වැල්ලවත්ත යන අය මෙම හමුවට සහභාගි වූහ.
 

More News..