brand logo

එජාප නායක වෙන්න මට සුදුසුකම් තියෙනවා

04 September 2022

සජබෙ යළි මහගෙදරට පැමිණිය යුතුයි

ඔවුන් ආණ්ඩුවට එන්න ආසයි සජිත්ගෙන් තවම වචනෙ නෑ‍

එක්සත් ජාතික පක්ෂයේ ඔටුන්න හිමි කුමරා වන රුවන් විජයවර්ධන පක්ෂයේ ආරම්භකයා වන ඩී.ඇස්. සේනානායකගේ මී මුනුබුරෙකි. හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයෙකි. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, දේශගුණ විපර්යාස පිළිබඳ ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශක ද වන ඔහුගෙන් සිය ඥාති සොයුරා වන රනිල් වික්‍රමසිංහ ජනපති වීම ඇතුළු එජාපයේ අනාගතය ගැන අපි මෙසේ ප්‍රශ්න කළෙමු.

ඡන්දයක් දිනන්න බැරිවූ ඔබේ නායකයා අද ජනාධිපති. ඔබත් පරාජිතයෙක්. අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ.

රටේ ජනතාව මුලා කරමින් වැරදි තොරතුරු එතුමා ගැන ප්‍රචාරය කරලා තිබුණා. නමුත් එතුමා හැමදාම එකම ප්‍රතිපත්තියේ හිටියා. අපේ නායකතුමා හිතුවෙත් ඩී.එස්. සේනානායකලා ජේ.ආර් ජයවර්ධනලා හිතපු විදියටමයි. මොකද එතුමා බැලුවේ තමන් ගැන නොවෙයි රට ගැනයි. ඒ නිසා පසුගිය කාලය පුරාම අපි දැක්කා දේශපාලන පක්ෂ ජාතිවාදය පතුරවලා බලය අල්ල ගන්නා හැටි. අපේ පක්ෂයේ කණ්ඩායම් කඩාගෙන යද්දී පවා අපි හැමෝම හිතුවේ නායකතුමාගේ ප්‍රතිපත්තිය නිවැරදියි කියන කාරණයයි. ඇත්තටම මේ රටේ ආර්ථිකය බේරා ගන්න පුළුවන් එකම කෙනා රනිල් වික්‍රමසිංහ කියන එක අද හැමෝම අවිවාදයෙන් පිළිගත්තත් අපි එය එදා ඉඳලාම පිළිගත්ත කාරණයක්. ඒ විශ්වාසය හා පිළිගැනීම ක්‍රමයෙන් මේ වන විට එක්සත් ජාතික පක්ෂය කෙරෙහිත් ඇති වෙමින් තිබෙනවා. පක්ෂ දේශපාලනය පවා අද වන විට පිරිහිලා තියෙනවා. රටේ ජනතාවට අවශ්‍ය විසඳුම් දෙන්න පුළුවන් එකම නායකයා අපේ නායකයා කියන එක ජනතාව අද විශ්වාස කරනවා. අපිව පරාජය කරලා තමුන් කරගත්තේ වරදක් කියන එකත් දැන් ජනතාවට අවබෝධ වෙලා තියෙනවා.

එක්සත් ජාතික පක්ෂය අද බිංදුවටම බැහැලා. ඔබ පක්ෂයේ නියෝජ්‍ය නායකයා. එක්සත් ජාතික පක්ෂය ඉදිරි මැතිවරණයන්හිදී ජයග්‍රහණය කරවන්න වැඩපිළිවෙළක් තිබෙනවාද?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරවීම වෙනුවෙන් අපි ගම් මට්ටමේ බිම් මට්ටමේ සාර්ථක වැඩපිළිවෙළක් ආරම්භ කරලා තියෙනවා. පක්ෂ දේශපාලනය පිරිහිලා තිබුණට රටේ ජනතාව තුළ මේ වන විට විශ්වාසයක් ගොඩ නැගෙනමින් තිබෙනවා. අනෙක් පක්ෂ ගත්තහම ඒ සියලු කණ්ඩායම්වල නියෝජිතයන් එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙන්න කතා බහ කරමින් සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වගේම පළාත් පාලන ආයතන නියෝජිතයොත් අපිත් එක්ක කතා කරමින් ඉන්නවා. මේ හැමෝටම අද ජනාධිපතිතුමා ගැන විශ්වාසයක් ගොඩ නැගිලා තියෙනවා. ඉදිරි මැතිවරණය එනකොට ඉතාම ශක්තිමත් තැනකට එක්සත් ජාතික පක්ෂය ගෙන ආ හැකි බව අපට විශ්වාසයි.

ඔබ එසේ කීවත් සර්ව පාක්ෂික ආණ්ඩුව පවා තවම හදා ගන්න බැරිවෙලා. ඉතින් අපි කොහොමද විශ්වාස කරන්නේ එක්සත් ජාතික පක්ෂයට අනෙක් පක්ෂවල අය සහාය දෙනවා කියලා.

සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනාධිපතිතුමා ආරාධනා කළේ පක්ෂ, පාට, ජාති ආගම් භේදයෙන් තොරවයි. සජබේ බොහෝ දෙනෙක් මාත් සමග කතා කරනවා. ඒ අයගේ ආසාවක් තියෙනවා සර්ව පාක්ෂික ආණ්ඩුව සමග එකතු වෙන්න. එහි නායකයතුමාගේ තීරණය එනතුරු තමයි මේ කට්ටිය බලාගෙන ඉන්නේ. පක්ෂ පාට පැත්තකට තියලා සියලු දෙනාම සර්ව පාක්ෂික ආණ්ඩුවකට මේ මොහොතේ එකතු වුණොත් මම හිතනවා රට සංවර්ධනය කරා ගෙන යන්න හොඳ අවස්ථාවක් උදාවේවි. ජනාධිපතිතුමාට හොඳ දර්ශනයක් වැඩපිළිවෙළක් තිබෙන නිසා සර්ව පාක්ෂික ආණ්ඩුව හැදුවොත් අපට මේ රට ආර්ථික අර්බුදයෙන් ගලවා ගන්න පුළුවන් වේවි. රටේ ජනතාවගේ, ආගමික නායකයන්ගේ ඉල්ලීම වුණේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න කියන කාරණය ගැනයි. ඒ නිසා මම පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ රට ගැන හිතලා සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකතු වෙන්න කියලායි.

ඔබ විශ්වාසයෙන් කියනවා ඊළඟ ආණ්ඩුව හදන්නේ එක්සත් ජාතික පක්ෂය කියලා. ඉදිරි පක්ෂ නායකයා ඔබද?

එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ විශ්වාසය දිනාගෙන තමයි මම පක්ෂයේ නියෝජ්‍ය නායකයා වෙලා ඉන්නේ. පාක්ෂිකයන්ගේ විශ්වාසයත් රටේ ජනතාවගේ විශ්වාසයත් දිනා ගැනීම තුළ මට පක්ෂයේ නායකයා වෙන්න අවශ්‍ය සුදුසුකම් තියෙනවා. බිංදුවටම වැටුණු පක්ෂයක් තමයි ඔබේ නායකයා ඔබට බාර දෙන්නේ. හෙට දවසේ ඔබ පක්ෂය බාර ගත්තොත් පක්ෂය ඉදිරියට ගෙන යන්න ඔබේ අතේ වැඩපිළිවෙළක් තියෙනවාද? මොකද පක්ෂයේ හිටපු නායකයන් ඇතුළු පාක්ෂිකයන් බොහෝ දෙනෙක් පක්ෂය හැරදමා වෙනත් පක්ෂයකට ගිහිල්ලා ඉන්නේ. එදා ඉඳන්ම මගේ ස්ථාවරය වුණේ සමගි ජන බලවේගයේ ඉන්නෙත් අපේම පක්ෂයේ අය කියන කාරණය. ඒ අපේ සහෝදර මන්ත්‍රීවරු. ඒ නිසා මගේ ස්ථාවරය වුණේ මේ කණ්ඩායම් දෙක එකතු විය යුතුයි කියන එකයි. මේ අය යළි මහගෙදරට පැමිණිය යුතුයි. ඒ වගේම දක්ෂ දේශපාලනඥයන් වෙනත් පක්ෂවලත් ඉන්නවා. ඉතින් ඒ අයත් අපිත් එක්ක එකතු වෙන්න සාකච්ඡා කරනවා. ඒ වගේම තරුණ අලුත් මුහුණු පක්ෂයෙන් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ විදියට ඉදිරියට ගියොත් අපිට ජයග්‍රහණය කරා යන ගමන අසීරු වෙන එකක් නෑ කියලා මම හිතනවා. ඒ වගේම මැතිවරණයක් ආසන්න වෙද්දී කණ්ඩායම් ගණනාවක් අපිත් සමග එකතු වෙන්න ඉඩ තියෙනවා.

ඔබ දැන් ජනාධිපති උපදේශකවරයෙක් ඒ විෂයෙහි වැඩකටයුතු ආරම්භ කළාද?

මේක ඉතාම බැරෑරුම් විෂයක්. ගොඩක් අය හිතන්නේ කාලගුණික දේශගුණික විපර්යාස ගැන පමණයි මෙයින් කතා කරන්නේ කියලා. වර්ෂාපතනය ගැන කතා කරන එකත් මට දීලා කියලා තමයි හුඟක් අය හිතාගෙන ඉන්නේ. දේශගුණික විපර්යාසයක් කියන්නේ කෙලින්ම රටේ ජාතික ආරක්ෂාවට බලපාන ප්‍රශ්නයක්. මොකද දේශගුණික විපර්යාස අනුව තමයි ආහාර සුරක්ෂිතාව ඇති වෙන්නේ. ආහාර සුරක්ෂිතතාව නැතිනම්, පිරිසුදු පානිය ජලය නැතිනම් එය සෘජුව රටේ ආර්ථිකයට බලපානවා. මෙය ජාතික ආරක්ෂාවට විශාල බලපෑමක්. එම නිසා මේක පුළුල් විෂයක්. ඒ වගේම අමාත්‍යාංශ ගණනාවකට බලපාන ප්‍රශ්නයක් තමයි දේශගුණික විපර්යාස. කෘෂිකර්මය, වාර්මාග, සෞඛ්‍ය ආදී රටේ ක්ෂේත්‍ර ගණනාවකට මෙය බලපානවා.

අද රටේ තිබෙන බරපතළ ප්‍රශ්නයක් තමයි බලශක්තිය කියන්නේ. පුනර්ජනනීය බලශක්තියත් ඔබේ විෂය පථයට අයත්. ඒ ගැන සඳහන් කරන්නේ නැත්තේ ඇයි?

නෑ මම මුලින්ම කිව්වා වගේ මේක ක්ෂේත්‍ර ගණනාවකට බලපාන විෂයක්. මගේ විෂයටත් මෙය අයිති නිසා අපි පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය ගැනත් අවධානය යොමු කරලා තියෙනවා. රටේ අයවැය ගත්තොත් වැඩිම මුදල් ප්‍රමාණයක් වැය වෙන්නේ ඉන්ධන ගන්න. එය ප්‍රවාහනයට පමණක් නොව විදුලිය නිෂ්පාදනයට ද යොදා ගන්නවා. ඉතින් ඉන්ධන දහනයෙන් විදුලිය නිපදනවන එක නතර කරලා විකල්ප විදුලි උත්පාදන ක්‍රම ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් ඒ නිසා පුනර්ජනනීය බලශක්තිය ගැන ඇවිත් තිබෙන යෝජනා ගැනත් සලකා බලලා රටට වාසිදායක වැඩපිළිවෙළකට යොමු වෙන්න අවශ්‍ය යෝජනා අපි ඉදිරිපත් කරනවා. අද ප්‍රවාහන කටයුතු වෙනත් රටවල සිදුවන්නේ විදුලියෙන්. ඉතින් ලංකාව තුළත් එවැනි වැඩපිළිවෙළකට යන්න ජනාධිපතිතුමාත් එක්ක කතා කරන්න අපි අපේක්ෂා කරනවා.

ජනාධිපතිවරයාට පොදුජන පෙරමුණත් සමග තමයි වැඩ කරන්න වෙලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයටත් එහෙමයි. නොගැළපෙන පුද්ගලයන් හා පක්ෂයන් සමග වැඩ කරන්න අපහසුවක් නැද්ද?

පොහොට්ටුවෙත් අපෙත් දේශපාලන ප්‍රතිපත්ති වෙනස්. ඒක ඇත්ත. නමුත් රට අද තියෙන තැන ගැන බැලුවාම පක්ෂ ප්‍රතිපත්තිවලට එල්බගෙන සිටිනවාට වඩා රට ගොඩ ගැනීම වැදගත් කියලා තමයි මම හිතන්නේ. ඒ නිසා පක්ෂ ප්‍රතිපත්ති වෙනුවට ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් පොදු ප්‍රතිපත්තියකට එන්න ඕනෙ. ඒ වෙනුවෙන් අපිට පොහොට්ටුවත් එක්ක එකතු වෙලා වැඩ කරන්න ගැටලුවක් නෑ. පොහොට්ටුවේ කට්ටියත් විශ්වාසයක් තියෙනවා ජනාධිපතිතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන. ශ්‍රීලනිපය වගේම අනෙක් පක්ෂත් එක ප්‍රතිපත්තියකට මේ වෙලාවේ එන්න ඕනා කියන විශ්වාසය අපට තියෙනවා.

හැබැයි රටේ ජනතාව මේ වෙලාවේ කියන්නේ දැන් තියෙන්නේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවක් කියලායි. ජනතාවට ඕන විදියට නොවෙයි රාජපක්ෂලාට ඕන විදියට ජනාධිපතිතුමා වැඩ කරනවා කියලා තමයි ඒ අය චෝදනා කරන්නේ.

නෑ ඒක වැරදියි. ජනාධිපතිතුමා වැඩ කරන්නේ එතුමා හදා ගත්ත න්‍යාය පත්‍රයකට මිසක් වෙන කෙනෙකුගේ න්‍යාය පත්‍රයකට නොවෙයි. මේ චෝදනාව කරන්නේ සුළු කණ්ඩායමක්. රටේ බහුතර ජනතාව මේ චෝදනාව කරන්නේ නෑ. අරගලයත් සමග විශාල විරෝධයක් සාමාන්‍ය ජනතාවගෙන් රාජපක්ෂලාට විරුද්ධව ආවා. ඒ වෙලාවේ තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිකම බාර ගත්තේ රටේ ජනතාව ගැන හිතලයි. අනෙක් පක්ෂ නායකයෝ පසුබසිද්දී අපේ නායකතුමා තමයි රටේ ආර්ථිකය ගොඩ නගන්න අගමැතිකම බාර ගත්තේ. ඒ ගමන අද ජනාධිපති ධුරය දක්වා ආවා. එතුමාගේ වැඩපිළිවෙළ නිසා ගෑස් ප්‍රශ්නය, ඉන්ධන ප්‍රශ්නය, පොහොර ප්‍රශ්නය විසඳිලා තියෙනවා. මොන චෝදනා කළත් එතුමා ගමන් කරන්නේ රටේ ආර්ථික අර්බුදය විසඳන්න පමණයි.

වසර ගණනාවකට පසුව ජනාධිපති කෙනෙකු යටතේ පක්ෂ සංවත්සරය සමරනවා. මොකක්ද මෙවර වැඩපිළිවෙළ,

76 වෙනි සංවත්සරය අපි එක්ව ගොඩනගමු යන තේමාව යටතේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදි ලබන 06 දා සවස 3.00 ට පවත්වනවා. ඉතින් මෙහි අරමුණ සියලු දෙනා එකතු වෙලා රට ගොඩනගමු කියන කාරණයයි. මහාමාන්‍ය ඩී.එස් සේනානායක මැතිතුමා පක්ෂය ආරම්භ කරන අවස්ථාවේ කිව්වේ ජාති, ආගම් පක්ෂ පාට බේදයකින් තොරව එක කුඩයක් යට හැමෝටම එක්සත්ව ඉන්න පුළුවන් පක්ෂයක් හැදුවා කියලායි. එම අදහස නැවත අපේ ජනාධිපතිතුමා ගෙනල්ලා තියෙනවා. ඉතින් එම අරමුණට යන්න හැමෝටම එකතු වෙන්න කියන මතය තමයි අපි මේ සංවත්සරයේදි කියන්නේ. වසර 28 ට පස්සේ ජනාධිපතිවරයෙකු යටතේ පැවැත්වෙන සංවත්සරයට එන්න හුඟක් අය කැමැත්තෙන් සිටිනවා. ඉන්ධන අර්බුදය නිසා අපට බස් දාලා ජනතාව ගේන්න ක්‍රමයක් නෑ. ඉතින් අපි ජනතාවට කියනවා හැකි අය පමණක් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරලා මේ අවස්ථාවට සහභාගි වෙන්න කියලා. දීප්ති ප්‍රමිතා අධිකාරි
 

More News..