brand logo

එජාප නායකයාගේ කකුලෙන් අදින කෙනකුට මම සහාය දෙන්නේ නැහැ

15 August 2019

අජිත් අලහකෝන් පක්ෂයේ නායකයාගේ කකුලෙන් අදිමින් වෙන කෙනෙක් එක්ක දුවන්න තමන් සූදානම් නැතැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊයේ (14 වැනිද) ප්‍රකාශ කළේය. කැලණියේ පැවති ආගමික උත්සවයකට සහභාගි වීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මෙසේද කීය. ‘‘ජනාධිපතිවරණයට තව මාස හතරක් තියෙනවා. අද වෙද්දි ජනාධිපතිවරණයේ නම කියව කියවා හිටියා කියලා ජනතාවගේ බඩ පිරෙන්නේ නෑ. මීට කලින් පැවැත්වූ ජනාධිපතිවරණ දෙකේදී දවස් හතළිහකට කලින් තමයි අපේක්ෂකයන් තෝරාගෙන වැඩේට බැස්සේ. මේ පාරත් එහෙම කළොත් ප්‍රමාණවත් කියලා තමයි මම නම් හිතන්නේ. රටේ ජනතාව නොමග යවන අපේක්ෂකයෙක් ඉදිරිපත් වුණොත් අපට බැහැ හෘද සාක්ෂියට එකඟව වේදිකාවට නැගලා කතා කරන්න. මගේ පක්ෂයේ නායකයෙක් ඉන්නවා. ඒ නායකයාට මම ගරු කරනවා. ඔහුත් සමග වැඩ කරනවා. සජිත් ප්‍රේමදාස පක්ෂයේ නායකයා නම් ඔහුත් සමග වැඩ කරන්න සිද්ධ වෙනවා. නමුත් නායකයෙක් සිටිද්දී ඒ නායකයාගේ කකුලෙන් ඇද ඇද වෙන කෙනෙක් එක්ක දුවන්න මට බැහැ. ජනාධිපති අපේක්ෂකයා තීරණය කළ යුත්තේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන්. මම මගේ පක්ෂයට සහාය දක්වනවා. එක්සත් ජාතික පක්ෂයට මම පක්ෂපාතියි. එහාට මෙහාට පනින දේශපාලනයට මම කැමති නෑ. එහෙම පනින්න ගියාම අසරණ වෙන්නේ ඡන්දදායකයා.’’
 

More News..