brand logo

එජාප නායකත්වය රුවන්ට දෙන්න රනිල්ගේ අවධානය යොමු කරලා

07 August 2020

එක්සත් ජාතික පක්ෂ නායකත්වය රුවන් විජේවර්ධන මහතාට භාර දීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ ගේ අවධානය යොමු වී ඇති බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි. අද උදෑසන රනිල් වික්‍රමසිංහ සමග එජාප පිරිසක් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රුවන් විජේවර්ධන මහතාට භාර දීම කෙරෙහි රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමු කරවා ඇති බව සඳහාන්. ලබන සදුදා හා අගහරුවාදා මේ පිළිබඳ වැඩි දුරටත් සාකච්ඡා පවත්වා බදාදා වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් සිය අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද එකී ආරංචිමාර්ග වැඩි දුරටත් සඳහාන් කළේය. මේ අතර එක්සත් ජාතික පක්ෂයට හිමි වී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා දෙන්නේ කාටද යන්න පිළිබඳද තවමත් නිෂ්චිත එකගතාවකට පැමිණ නොමැති අතර තමන්ට ඒ මන්ත්‍රීධුරය ලබා දෙන මෙන් හිටපු ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනකු එජාප නායකයාට දරුණු ලෙස බලපෑම් කරමින් සිටින බවද වාර්තා වේ. එජාප නායකත්වය ලබා ගැනීම කෙරෙහිද පක්ෂ ජ්‍යේෂ්ඨයන් කීප දෙනකුම මෙපරිද්දෙන්ම කලක පටන් එජාප නායකයාට බලපෑම් කරමින් සිටින බැවින් පක්ෂයේ යළිත් බෙදීමක් ඇති වීම වළක්වා ගැනීම සඳහා නායකත්වය ගැන බලාපොරොත්තුවක් නොතිබුණු රුවන් විජේවර්ධනඑම තනතුරට පත් කීරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද ආරංචිමාර්ග තහවුරු කරයි. එමෙන්ම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයද බොහෝ විට ජාතික ලැයිස්තු අපේක්ෂකයකුටම ලබා දීමට ද හැකියාවක් ඇති බව එකී ආරංචිමාර්ගම කියයි. අද උදෑසන එජාප නියෝජිත පිරිස රනිල් වික්‍රමසිංහ මහතා හමුවී එජාපයේ ඉදිරි කටයුතු හා නායකත්වය පිළිබඳ සාකච්ඡා පවත්වා ඇති අතර එහිදි වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තමන්ට නායකත්වයේ රැදී සිටීමට අවශ්‍යතාවක් නැති බවයි. 2023 වන තුරුත් ව්‍යවස්ථානුකූලව තමන්ට පක්ෂ නායකත්වය දැරීමට හැකියාව ඇතත් එජාප  කැමැති පුද්ගලයකු සිටීනම් ඒ පුද්ගලයාට නායකත්වය භාරදීමට තමන් සූදානම් බව පවසා ඇත. නායකත්වයට පත්විය යුත්තේ කවරුන්ද යන්න පිළිබඳ සාකච්ඡා කර අවසන් නිගමනයකට පැමිණ තමන්ට පවසන ලෙසද මෙහිදී වික්‍රමසිංහ මහතා පවසා ඇත. රුවන් විජේවර්ධන මහතාට නායකත්වය ලබා දීම පිළිබඳ සාකච්ඡා පවත්වා ඇත්තේ මින් පසුවයි.
 

More News..