brand logo

එජාප ජනාධිපති අපේක්ෂකයා ජවිපෙ අපේක්ෂකයාගෙන් පසුව

10 August 2019

රනිල් පාර්ශ්වය හා සජිත් පාර්ශ්වය අතර අර්බුදය උත්සන්න වීම නිසා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම මේ මස අවසානය දක්වා කල් දමා ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (11) පැවැත්වෙන එම පක්ෂයේ සම්මේලනයේ දී සිය අපේක්ෂකයා නම්කරන අතර ජනතා විමුක්ති පෙරමුණ මේ මස 18 වැනිදා සිය අපේක්ෂකයා නම් කිරීමට සැලසුම් කර ඇත. එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම පක්ෂයේ අපේක්ෂකයා නම් කරනු ඇත්තේ ඊටත් පසුව බවයි. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය මේ මස 05 දා පිහිටුවා එහිදී ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට නියමිතව තිබිණ. එහෙත් සජිත් පිලේ විරෝධතාව නිසා තවමත් එම සංවිධානය ගොඩනැගීමට නොහැකිව තිබේ. එම පාර්ශ්වයේ තර්කය වන්නේ සන්ධානය ගොඩනැගීමට පෙර ජනාධිපති අපේක්ෂකයා නම් කළ යුතු බවය. මේ අතර රනිල්, සජිත් දෙදෙනාට අමතරව ජනාධිපති අපේක්ෂකත්වයට තවත් නම් කිහිපයක් යෝජනා වීමත් සමග තවත් අර්බුදයක් නිර්මාණය වී තිබේ. මේ අනුව කථානායක කරු ජයසූරිය, පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න යන ඇමැතිවරුන්ගේද නම් යෝජනා වී ඇත. මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළහොත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයෙන් හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉදිරිපත් කළ යුතු බවට තවත් පාර්ශ්වයක් යෝජනා කර තිබේ. කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂයා ලෙස පත් කිරීමට සුළු පක්ෂ නියෝජිතයන් පක්ෂ නායකත්වයට විරෝධය දක්වා ඇති බවට වාර්තා වේ. මීට අමතරව සිවිල් සංවිධාන නියෝජිතයකු පැවසුවේ සජිත් ජනාධිපති කරන්නේ ගෙවල් හදන්නද? යනුවෙනි. දැනට රට හමුවේ ඉතිරි වී ඇති උතුරු නැගෙනහිර ප්‍රශ්නය, ජිනීවා සමුළුව, යහ පාලනය ආදී ප්‍රශ්නවලට ඔහුගෙන් පිළිතුරක් නොමැති නිසා සිවිල් සංවිධානවල සහයෝගයක් නොමැති බව එම නියෝජිතයා සඳහන් කළේ ය. මෙම තත්ත්වය මත එජාප ජනාධිපති අපේක්ෂකත්වය තෝරා ගැනීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයට නම් කිහිපයක් ඉදිරිපත් කර එහි පැවැත්වෙන ඡන්දයෙන් තෝරා ගැනීමට නියමිතය. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නියෝජිතයන් 94 ක් සිටිය යුතු වුවද, දැනට නොයෙකුත් හේතූන් නිසා ඉන් ඉවත් වූ හා ඉවත් කළ අයගෙන් ඉතිරිව ඇත්තේ අසූවකට ආසන්න පිරිසක් බව වාර්තා වේ. මෙම තත්ත්වය මත ජනාධිපති අපේක්ෂකත්වයට තරග කරන අය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දයෙන් ජයගත හැක්කේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ සහය ලබන අයට පමණක් වීමද විශේෂත්වයකි. චමින්ද සේනාරත්න
 

More News..