brand logo

එජාපයේ සමග හවුල් ආණ්ඩුවක් පිහිටුවන්න - චන්ද්‍රිකා ශ්‍රීලනිපය අල්ලයි

31 December 2018

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට පත්කිරීමට විරෝධය පළකර හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇයගේ මතයේ සිටින නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමග එක්ව පක්ෂයේ බලය ඇල්ලීමට සූදානම්ව සිටියි. එහි ඉදිරි පියවරක් ලෙස ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව සන්ධානයකින් මැතිවරණයට තරග කිරීමට ද මෙම කණ්ඩායම විරෝධය පළ කර ඇති අතර ඊට එරෙහිව කටයුතු කිරීමට සැලසුම් කර ඇත. පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍ය කාරක සභාවේදී පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන ආසන සංවිධායකයින්ට දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් පවසා ඇත්තේ පක්ෂය කැඩීමට කටයුතු කරන කල්ලි කණ්ඩායම්වලට සහාය ලබාදෙන ආසන සංවිධායකවරුන් ඉවත් කරන බවයි. එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ කණ්ඩායම, බණ්ඩාරනායක කණ්ඩායම ආදී නම්වලින් එක් එක් කණ්ඩායම් සකස් කර පක්ෂයේ බලය අල්ලන්නට සහාය ලබාදෙන සංවිධායකවරුන් සම්බන්ධයෙන් තමා දන්නා බව පවසා තිබේ. ඒ අනුව වාර්තා වන අන්දමට ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් ආසන සංවිධායකයින් ඉවත් කර ඒ වෙනුවට සම ආසන සංවිධායක ධුර ඇති කිරීමටද සැලසුම් කර ඇත. කෙසේ වෙතත් රැස්වීම අතරතුර ජනාධිපතිවරයා විදෙස් ගතවීම සඳහා ඉන් ඉවත්ව ගිය පසු රැස්වීමේ සිටි මධ්‍යම කාරක සභිකයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාට සහ එස්.බී. දිසානායක සහ දයාසිරි ජයසේකරට දෝෂාරෝපණය කර ඇති බවද වාර්තා වේ. මෙම තත්ත්වය මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින චන්ද්‍රිකා පාර්ශ්වයේ කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අත්පත් කර ගැනීමේ සැලසුමක් සම්බන්ධයෙන් වාර්තා වීමත් සමග වාර්ෂික නිවාඩුවක් සේ සලකා එහි සේවකයින්ට නිවාඩු ලබාදී මූලස්ථානය වසා දැමීමට පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කළේය. මීට පෙර කිසිම අවස්ථාවක එහි සේවය කරන සේවකයින්ට මේ ආකාරයෙන් වාර්ෂික නිවාඩුවක් ලබාදී නොමැත. කෙසේ වෙතත් මෙම කණ්ඩායම හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙහෙයවන බවට මේ වන විට ජනාධිපතිවරයා වෙත තොරතුරු වාර්තා වී තිබේ. ඒ අනුව දැනට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එක්ව සිටින පියසේන ගමගේ, ඒ.එච්.එම්. ෆවුසි, විජිත් විජයමුණි සොයිසා, ලක්ෂ්මන් සෙනෙවිරත්න, මනූෂ නානායක්කාර යන අය සමග දැනට විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 23 දෙනාගේ කණ්ඩායමේ ඉතිරි මන්ත්‍රීවරු මේ සඳහා නායකත්වය දෙමින් සිටින බවද වාර්තා වේ. ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, ලසන්ත අලගියවන්න, මොහාන්ලාල් ග්‍රේරු ඇතුළු පිරිසක් එක්වන බවට වාර්තා වේ. ‘‘මෙම පිරිසේ අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අත්පත් කරගෙන යළිත් එක්සත් ජාතික පක්ෂ පෙරමුණ හවුල් ආණ්ඩුවක් කරගෙන යාමටයි. එහිදී මෙම පිරිසට ඇමැති ධුර ලබාගැනීම මෙහි අරමුණ වී ඇත. එහෙත් ජනාධිපතිවරයාගේ දැඩි ස්ථාවරය වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වන කිසිවකුට ඇමැති ධුර ලබා නොදීමටයි. කෙසේ වෙතත් එය අසාර්ථක වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම පිරිස පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට සැලසුම් කර ඇත. චමින්ද සේනාරත්න
 

More News..