brand logo

එජාපයේ ඉරණම කමිටුවකට පවරයි

14 February 2020

එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණයේදී සන්ධානයකින් තරග කරනවාද, කුමන ලකුණක් යටතේ තරග කරනවාද යන්න පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීමට කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර පෙරේදා (12 වැනිදා) පස්වරුවේ පැවැති විශේෂ හමුවකදී මෙම තීරණය ගෙන ඇත. එම කමිටුවට අයත් සාමාජිකයන් වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රන්ජිත් මද්දුම බණ්ඩාර, මංගල සමරවීර, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, අකිල විරාජ් කාරියවසම්, ජෝන් අමරතුංග, රවි කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, නවීන් දිසානායක එම කමිටුවට ඇතුළත් වෙති. ඒ අනුව අද (14 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම එළැඹෙන සතියේ පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර තිබේ. මෙම හමුවට ප්‍රථම එක්සත් ජතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කළමනාකරුවන්ගේ විශේෂ රැස්වීමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. පක්ෂයේ සියලු නායකයන් එකතුව අලියා ලකුණෙන් මැතිවරණයට ඉදිරිපත් විය යුතු බව දිස්ත්‍රික් කළමනාකරුවෝ මෙහිදී අවධාරණය කර සිටියහ. පක්ෂ විනය කඩන අයට කඩිනමින් විනය පියවර ගත යුතු බවද ඔවුහු පෙන්වා දුන්හ. අලියා ලකුණෙන් ඉදිරිපත් නොවුණහොත් හංසයා ලකුණෙන් මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවට වූ යෝජනාවක්ද මෙහිදී ඉදිරිපත් විය. පක්ෂයේ සියලුදෙනා එකතුව නායකත්වය මණ්ඩලයක් මගින් මැතිවරණය මෙහෙයවීම පිළිබඳවද සාකච්ඡා කර ඇත. එම නායකත්ව මණ්ඩලයට කථානායක කරු ජයසූරිය ඇතුළත් විය යුතු බව පෙන්වා දී තිබේ. මෙම සාකච්ඡාවෙන් පසු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් කථානායක කරු ජයසූරියද හමුවී ඇත. එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් මත පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ කථානායක කරු ජයසූරිය අතර සාකච්ඡාවක්ද මෙම සතියේදී පැවැත්වෙයි.   උදයජීව ඒකනායක
 

More News..