brand logo

එජාපයට නැවත ආණ්ඩු හදන්න අයිතියක් නැති බව ටිල්වින් සිල්වා කියයි

14 November 2018

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ඓතිහාසික එකක්. 26වෙනිදා සිට මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගත් ව්‍යවස්ථා විරෝධී තීරණවල බරපතළම එක තමයි පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ තීරණය. එම ව්‍යවස්ථා විරෝධී විසුරුවාහැරීමට එරෙහිව ජවිපෙ ඇතුළු පක්ෂ, සංවිධාන කිහිපයක් අධිකරණයට ගියා. අධිකරණය කරුණු විමසා බලා තීන්දුවක් දුන්නා. ගැසට් පත‍්‍රය තාවකාලිකව ලබන 07වෙනිදා දක්වා අත්හිටුවා දෙසැ. 04, 05, 06 නඩුව විභාග කරන්න තීරණය කළා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන ජනතාව ලැබූ ජයක්. මේ සම්බන්ධයෙන් සමහරු විවිධ අදහස් පළකරමින් ඉන්නවා. ඇතැම් අය කියනවා මේක වාරණයක් ගණන් ගත යුතු නැහැ කියලා. නමුත් අධිකරණයෙන් ලබාදෙන තීන්දුව කුමක් වෙයිද කියලා ඉදිරියට බලන්න පුළුවන්. ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරයෙක්ගේ ගැසට් නිවේදනයක් වාරණය කරලා තිබෙනවා. එය පාර්ලිමේන්තුව විසුරුවීම පිළිබඳව ගැසට් නිවේදනයක්. නඩු නිමිත්තක් නැත්නම් වාරණය කරන්නේ නැහැ. ව්‍යවස්ථාව උල්ලංඝනය කර නැත්නම් නඩුව අහන්නේ නෑ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය නඩුව අහන්න තීරණය කළේ ගැටලූවක් තිබෙන නිසයි. බරපතළ කරුණක් නිසා තමයි ගැසට් නිවේදනය අත්හිටුවන්නේ. ඒ විතරක් නෙවෙයි මැතිවරණ කොමිසමටත් වාරණ නියෝගයක් දෙනවා මැතිවරණය වෙනුවෙන් කිසිවක් නොකරන ලෙසට. පැහැදිළි කරුණ තමයි ව්‍යවස්ථාව උල්ලංගණය කර ඇති බව. දැන් සමහරු කියනවා අපි අධිකරණයට ගියේ මැතිවරණයකට බය නිසයි කියලා. අපි ඡන්ද එපා කියලා අධිකරණයට ගියේ නෑ. මැතිවරණයකට අපි ඕනෑම වෙලාවක ලෑස්තියි. අපි අධිකරණයට ගියේ නීති විරෝධී මැතිවරණයක් කැඳවන නිසයි. අපේ රටේ ඡන්දයක් පවත්වන ක‍්‍රමයක් තියෙනවා. ඒ ක‍්‍රමයට ඡන්දය තියන්න. අපි අදත් කියනවා මේ විදියට රට පවත්වාගෙන යන්න බැරි නම් පාර්ලිමේන්තුවේදී තීන්දුවක් ගන්න ඡන්දයක් තියන්න. හොර පාරෙන් ගැසට් ගහන්නේ නැතුව යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන්න. ජවිපෙ මන්ත‍්‍රී 06දෙනාම සහය දෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී, අසාධාරණ, අයුක්තිසහගත ඡන්ද පැවැත්වීම නොකළ යුතුයි. මේ අය ඡන්දෙට ගියේ ඇයි? මෛත‍්‍රීපාල මහත්තයා මුලින්ම කළ යුතුව තිබුණේ රනිල් එක්ක වැඩ කරන්න බැරි නම් වෙන අගමැතිවරු පත්කරන එක නෙවෙයි, ඡන්දයකට යන එකයි. එහෙම කළේ නැහැ. කුමන්ත‍්‍රණයක් කරලා හොරපාරෙන් ආණ්ඩු මාරු කරන්න හැදුවා. ඒ ආණ්ඩුව පවත්වාගෙන යන්න බැරි වුණාම, කුමන්ත‍්‍රණය ජයගන්න බැරි වෙනකොට පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. හොඳ චේතනාවෙන් කරපු එකක් නෙවෙයි. 26වෙනිදා අගමැති වෙනස් කළා. ඇමතිවරු පත්කරන්න ගත්තා දවසින් දවස. ඊළඟ පාර්ලිමේන්තුව කල්දැම්මා. බහුතරය හදාගන්න කෝටි 25ට, 30ට 50ට මන්ත‍්‍රීවරු මිලදී ගන්න පටන් ගත්තා. ඒ අතර නොවැ 14 පර්ලිමේන්තුව කැඳවන්න ගැසට් එකක් ගැහුව්වා. ඒකත් කර ගන්න බැරිවෙනකොට පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒ නිසා හරි පැහැදිලියි කුමන්ත‍්‍රණයක් කරලා ඒක අතේ පත්තු වෙනකොට ඒක වහගන්න තව කුමන්ත‍්‍රණ කරගෙන කරගෙන ගිය බව. පවිත‍්‍ර චේතනාවෙන් කරපු වැඩක් නෙවෙයි මේක. එනිසා අපි කියනවා අපි ඡන්දවලට බය නෑ. ඒත් ඡන්ද ව්‍යවස්ථානුකූල සාධාරණ ඡන්ද විය යුතුයි. කුමන්ත‍්‍රණයේ ඊළඟ අදියර පාර්ලිමේන්තුවට ආවා. අද ඒ කුමන්ත‍්‍රණයත් පරාජයට පත්වෙලා. මෛත‍්‍රීපාල මහත්තයා මීට කලින් නොවැ.14 පාර්ලිමේන්තුව කැඳවන්න කියලා ගහපු ගැසට් එකක් තියෙනවා. ජනාධිපතිවරයාගේ ගැසට් එකට අනුව තමයි අද කැඳෙව්වේ. ජවිපෙ තීරණයක් ගත්තා නීති විරෝධී අගමැති සහ ආණ්ඩුව පරාජය කරන්න. විශ්වාසභංගයක් කතානායකට බාරදුන්නා. 26වෙනිදා පත්කළ අගමැති නීති විරෝධී ඒ නිසා අගමැතිවරයාත්, ආණ්ඩුවත්, කැබිනට් මණ්ඩලයත් විශ්වාස නැහැ කියලා අපි යෝජනාවක් බාරදුන්නා. විවාදයට ගත්තා. මහින්ද රාජපක්ෂ කණ්ඩායමක් විශාල කලබලයක් කළා. ඔවුන් කරන්න තිබුණේ බහුතරය තිබෙනවානම් විශ්වාසභංගය පරාජයට පත්කරලා පත්වීම තහවුරු කරගන්න එක. නමුත් බහුතරය නැති නිසා ඔවුන් කලබල ඇති කළා. නමුත් අද පාර්ලිමේන්තුවේදී ජවිපෙ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ජයග‍්‍රහණය කරලා තිබෙනවා. මෛත‍්‍රී හදපු හොර අගමැති පැරදිලා තියෙන්නේ. දැන් පාර්ලිමේන්තුවට වගකීමක් තිබෙනවා අගමැති කෙනෙක් හදාගන්න. අපි නැවත ආණ්ඩු හදන්න මැදිහත් වෙන්නේ නෑ. අගමැතිලා හදන්න වුවමනාවකුත් නැහැ. අපි නිශ්චිත වශයෙන් ඉදිරිපත් වුණේ කුමන්ත‍්‍රණකාරී වැඩපිළිවෙළ පරාජය කරන්නයි. ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ක‍්‍රියාව පරාජය කරන්න. එය දැන් පරාජය කොට තිබෙනවා. දැන් පාර්ලිමේන්තුව ඉදිරි කටයුතු තීරණය කළ යුතුව තිබෙනවා. ඡන්දයකට යනවනම් අපි ඡන්දයකට යන්න සූදානම්. කුමන්ත‍්‍රණකාරයෝ පරාදයි. අපේ රටේ කුමන්ත‍්‍රණකාරී ලෙස බලය මාරු කරගන්න බැහැ. පස්ස දොරෙන් බලය මාරු කරන්න, අගමැතිවරු හදන්න බැහැ. අපිට විවිධ අවලාද අපහාස නගද්දී රටේ ඇතිවූ කුමන්ත‍්‍රණය පරාජය කරන්න අපි කටයුතු කළා. මේ රට ඇතුළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දේශපාලන සදාචාරය ස්ථාපිත කරන්න අපි මැදිහත් වුණා. එය කළ යුතුව තිබෙන කාර්යයක්. මේක කාගෙවත් ජයක් ලෙස අර්ථකථනය කරගත යුතු නැහැ. එජාප ජයග‍්‍රහණයක් නෙවෙයි. ජනාධිපති කළේ කුමක්ද? කුමන්ත‍්‍රණයක් කරලා වැරදි දේශපාන තීන්දු ගොඩක් අරගෙන පහුගිය අවුරුදු තුනහමාර තුළ ජනතාවට එපාවෙලා තිත්වෙලා ඡන්දයකින් පරද්දන්න ඕනෑ කියලා හිටපු එජාපයට අමතර වාසියක් අරගෙන දුන්නේ මෛත‍්‍රීපාල සිරිසේන. මේ රට මෙතනට වැටීමට එජාපය වගකිව යුතුයි. මෙවැනි කුමන්ත‍්‍රණවලට අවස්ථාව උදාවෙලා තිබෙන්නේ එජාපය තමන්ට ලැබුණ ජනවරමට පයින් ගහපු නිසා. එනිසා එජාපයට නැවත ආණ්ඩු හදන්න අයිතියක් නැහැ. කෙසේ වෙතත් කුමන්ත‍්‍රණය පරාජය කරන්න ලැබීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන සියලූ දෙනාගේ ජයග‍්‍රහණයක්. හෙටින් පසු පාර්ලිමේන්තුව තුළ කුමක් සිදුවනු ඇත්දැයි අපට කිව නොහැකියි. කොහොම නමුත් මේ අර්බුදය අවසන් නැහැ. එය දිගටම යාවි. අර්බුදය විසඳා ගැනීමට සිදුවන්නේ අවසානයේ මැතිවරණයකට යාමෙන් නම් එය නීත්‍යානුකූලව කරගත යුතු යැයි අපි පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටිනවා. ඒ වෙනුවට මේ අර්බුදය විසඳාගන්න තව තවත් කුමන්ත‍්‍රණ කරන්න යන්නේනම් ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේනම් ඒවා පරාජය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම්. මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනතුරක් වූ මොහොතේ තමන්ට කිසිවක් බලාපොරොත්තු නොවී මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනතුරට මුහුණ දුන් අවස්ථාවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී තත්වයන් වෙනස් කිරීම සඳහා රටේ විශාල කණ්ඩායමක් මැදිහත් වුණා. සිවිල් සංවිධාන, වෘත්තීයවේදීන්, නීතීඥවරුන් ගණනාවක් ඔවුන්ට අනතුරක් තිබියෙදී පවා මීට මැදිහත් වුණා. මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් මීට මැදිහත් වුණා. ඒ සියලූම දෙනාට අපේ ස්තූතිය පළකරනවා. මෙය අප සියලූ දෙනාගේ ජයග‍්‍රහණයක්. එම ජයග‍්‍රහණය අප ඉදිරියට ගෙනයා යුතුයි. ඒ වගේම මේ රටට කුමන්ත‍්‍රණ කරන පරණ දූෂිත පාලනයන් ස්ථාපිත කරන්න හදන පාලකයින් සමග මේ ගමන යා නොහැකියි. මේ රට වෙනස් ගමනක් යා යුතුයි. මේ රටට ආපසු දේශපාලන සදාචාරය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගෙන ආ යුතුයි. රට තුළ සමාජ සාධාරනත්වය තහවුරු කළ යුතුයි. සැබෑ ජාතික සමගිය අපට අවශයයි. රටේ ජනතාවට සතුටින් ජීවත් විය හැකි සමාජයක් නිර්මාණය විය යුතුයි. එයට මේ කුමන්ත‍්‍රණවලට සම්බන්ධ වුණු, ඒවාට උදව් කළ අයට ඊට සම්බන්ධ විය නොහැකියි. ඒ වෙනුවෙන් නව බලවේගයක් නිර්මාණය කළ යුතුව තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සමාජ සාධාරණත්වය වෙනුවෙන් නිර්මාණය කළ හැකි දැවැන්තම බලවේගය ඒකරාශි කිරීම අපි දැනටමත් ආරම්භ කර තිබෙනවා. එය අවසානයේ සමාජය වෙනස් කළ හැකි විශාලතම බලවේගයට නායකත්වය දීමට අපි සූදානම්. එයට එකතු වන ලෙස අපි සියලූ දෙනාට ආරාධනා කරනවා. මේ අවස්ථාව ඉතාම වැදගත් අවස්ථාවක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහි කුමන්ත‍්‍රණය පරාජය කළ අවස්ථාවක්. ඉදිරියේදීත් කුමන්ත‍්‍රණවලින් බලය ලබාගැනීමට ඕනෑම අයෙක් ගන්නා උත්සාහයක් පරාජයක් කිරීමට අපි සූදානම්. ඒ සඳහා වන ප‍්‍රතිඥාව අපි ජනතාවට දෙනවා.
 

More News..