brand logo

එච්. ශ්‍රී නිශ්ශංක නිදහස් පක්ෂය වෙනුවෙන් පූජා කළ කෝටි දෙකහමාරක රත්තරංවලට මොකද වුණේ?

26 February 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයකු සේම බෞද්ධ දානපතියකු වූ එච්. ශ්‍රී නිශ්ශංක මහතාගේ ...... ගුණසැමරුම ලබන 26 වැනිදාට යෙදී තිබේ. එච්. ශ්‍රී නිශ්ශංක පදනමේ ලේකම් ජගත් ජනකාන්ත, එතුමා ගැන සටහනක් මා අතට පත් කෙරුවේ පසුගිය සතියේය. මේ ලිපියට අදාළ නිශ්ශංක මහතාගේ ජීවන තොරතුරු නම් උපුටා ගන්නා ලද්දේ හිතවත් ජගත්ගේ ලිපියෙන් බව කිව යුත්තේ අනුන්ගේ ලිපියකට නම දා ගැනීමට අවශ්‍යතාවක් කිසිසේත්ම නැති නිසාය. බොහෝ දෙනා සිතා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු ලංකාවේ ප්‍රථම මැද මාවතේ පක්ෂය ලෙස වුවත් සත්‍යය එය නොවේ. ලංකාව 1948 නාම මාත්‍රික නිදහස ලබන විට මෙරට දේශපාලනය තුළ පක්ෂ ගමන් කළේ අන්ත දෙකක් කරාය. යූඇන්පීය අන්ත ධනවාදය කරාද, අනෙකුත් පක්ෂ අන්ත මාක්ස්වාදය කරාද දුවමින් සිටියහ. අන්ත දෙකටම මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් ඇති පක්ෂයක් ගොඩනැගීමේ අවශ්‍යතාව මුලින්ම දුටු නායකයා විල්මට් ඒ. පෙරේරාය. ලංකාවේ රබර් රජ්ජුරුවෝ ලෙස ප්‍රකටව සිටි විල්මට් තම ‘මැදිමාවතේ’ පක්ෂයේ අවශ්‍යතාවට එවකට සිටි දේශපාලකයන්, විද්වතුන්ට කියා ඔවුන් තම හොරණ ශ්‍රීපාලියේ ‘අවන්ති’ ශාලාවට කැඳවූයේ මේ ගැන සාකච්ඡාවක් කිරීමටය. මේ රැස්වීමට සහභාගි වූ එක් අයෙක් නම් එච්. ශ්‍රී නිශ්ශංකය. විල්මට් ඒ. පෙරේරා පිහිටු වූ මැද මාවතේ පක්ෂයේ නම ‘මහජන පෙරමුණ’ නම් විය. එය බිහි වූයේ 1948 දීය. නව පක්ෂයේ සභාපති වුයේ නීතිඥ එම්. ඩබ්ලිව්.එච්. සිල්වාය. දණ්ඩගමුව මන්ත්‍රී අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල, ලේකම්වරයා විය. පාර්ලිමේන්තුව තුළ පක්ෂ කණ්ඩායම නියෝජනයට පත් කෙරුණේ විල්මට් පෙරේරා සහ බලපිටියේ වොල්ටින් ඒ. ද සිල්වා (කොල්වින්ගේ සොහොයුරා) ය. මහජන පෙරමුණේ පරමාර්ථ හා ප්‍රතිපත්ති ප්‍රකාශය 1948 සැප්තැම්බර් 26 වැනිදා නිකුත් විය. එච්. ශ්‍රී නිශ්ශංක මහජන පෙරමුණට සක්‍රියව දායක නොවුණත් එහි ප්‍රතිපත්ති ප්‍රකාශය ඔහුගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය. මහජන පෙරමුණ කොටඋඩ යත්දී ඊට පස් වසකට පසු මැද මාවතේ නව පක්ෂයක් හදන්නට එච්. ශ්‍රී නිශ්ශංක තීරණය කොට හමාරය. එවකට පාර්ලිමේන්තුව නියෝජනය කළ කොල්වින් ආර්. ද සිල්වා මෙන්ම සොයුරු වොල්වින්ද සිල්වා ද යන අයගේ ගම් පළාත වූයේ බලපිටියයි. කලින් කී පරිදි මහජන පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කළ එක් මන්ත්‍රීවරයකු නම් වොල්වින්ය. එච්. ශ්‍රී නිශ්ශංක උපන්නේත් බලපිටියේය. ඒ බලපිටිය ගරුමුණි වලව්වේය. කොළඹ ආනන්දයේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ නිශ්ශංක උසස් අධ්‍යාපනය ලැබුවේ රාජකීය විද්‍යාලයෙනි. ඉන්පසු ඔහු ඇතුළත් වන්නේ නීති විද්‍යාලයටය. නිශ්ශංක කලක් කවිධජ ශේෂකර නමින් පැවිදි වී සිටියේ බුරුමයේය. එහෙත් තම වයෝවෘද්ධ දෙමාපියනට සැලකීමට සිදුවීම නිසා පවුලේ එකම පිරිමි දරුවා ලෙස එච්. ශ්‍රී නිශ්ශංක 1917 දී උපැවිදිභාවයට පත් විය. තම අතරමග නැවතුන අධ්‍යාපන කටයුතු නැවත ඇරඹූ නිශ්ශංක නීති අධ්‍යාපනය සඳහා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළු විය. එහිදී ඔහුගේ හොඳම මිතුරා බවට පත් වූයේ එස්. ඩබ්ලිව්.අාර්.ඩී. බණ්ඩාරනායකය. එච්. ශ්‍රී නිශ්ශංකයන් 1922 ජූලි 22 දා ලංකාවට පැමිණ නීතිවේදියකු වශයෙන් දිවුරුම් දුන්නේය. නිශ්ශංකයන්ට සිටි දරුවන් ගණන තිදෙනෙකි. ඔවුන් යමුනා, රංජිත් සහ ගීතය එච්. ශ්‍රී නිශ්ශංකයන් මැද මාවතේ පක්ෂයක් ගොඩනැගීමේ සිතුවිල්ල මුලින්ම ඉදිරිපත් කළේ තම මිතුරු එස්. ඩබ්ලිව්.අාර්. ඩී. බණ්ඩාරනායක මිතුරාටය. තම නිවස වූ යමුනාවට බණ්ඩාරනායක කැඳවූ නිශ්ශංකයන් මුලින්ම කළේ තම උඩුමහලේ වූ වැඳුම් පිදුම් කරන බුදු මැදුරට වැඳ නමස්කාර කිරීමය. මැද මාවතේ පක්ෂයක් ගොඩගනන්නට වූ සාකච්ඡාවලදී බණ්ඩාරනායක කොක්හඬලා සිනාසුණේ මුළු ‘යමුනා’වම දෙදරවමිනි. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට පාදක වූයේ ‘‘මහජන පෙරමුණේ’’ ප්‍රතිපත්ති ප්‍රකාශනයයි. නව පක්ෂයේ නම ශ්‍රී නිශ්ශංක සිහිවන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙසද, පක්ෂයේ පාට ලෙස නිල් පාටද තීරණය කරන ලද්දේ එච්. ශ්‍රී නිශ්ශංකයන්ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකර ගැනීමට එච්. ශ්‍රී නිශ්ශංකයන් බාරයක් වූයේ රුවන්වැලි සෑයටය. එම බාරය වූයේ පවුම් පන්සීයක රන් පාත්‍රයක්, තැටියක්, පැන් බඳුනක් සහ හැඳි 2 කි. 1951 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටු වූ පසු ඔහු තම බාරය රුවන්වැලි මහ සෑයට ඔප්පු කළේ ය. මේ බාරය නිශ්ශංකයන් ඔප්පු කළේ තම පෞද්ගලික ධනය වැය කිරීමෙනි. මේ සඳහා වන ආර්ථික ශක්තිය ඔහුට නොඅඩුව තිබුණි. එච්. ශ්‍රී නිශ්ශංකයන් තම රත්තරං බාරය නිර්මාණශීලීව ඉටුකිරීමට භාර දෙන්නේ වෝග් ජුවලර්ස් ආයතනයටය. අද රන් වටිනාකම අනුව බැලුවහොත් බාරයේ වටිනාකම කෝටි දෙකහමාරකටත් වැඩිය. නිශ්ශංකයන් සමග මේ බාරය රුවන්වැලි සෑයට ඉටුකරන්නට ගිය කවුරුත් අද ජීවතුන් අතර නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කරන්නට තම ජීවිතය පුද කළ එච්. ශ්‍රී නිශ්ශංකයන්ට පිංපතා දානයක්වත් නොදෙන්නට තරම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගුණමකු පක්ෂයක් විය. එච්. ශ්‍රී නිශ්ශංකයන් රුවන්වැලි සෑයට පූජා කළ දෙකෝටි පනස්ලක්ෂයකට අධික වටිනාකමින් යුතු රත්‍රං පූජා භාණ්ඩ ඇති මංජුසාවේ යතුරු දෙකකි. ඉන් එකක් ඇත්තේ මහා භාරකාරවරයා සතුව වන අතර අනෙක් යතුර ඇත්තේ රුවන්වැලි සෑය විහාරයේ අධිපති හිමියන් සතුවය. 2009 පෙබරවාරි 02 දින මෙම මංජුසාව එළියට ගෙන බාරයක් වීමට මුල් වී කටයුතු කළේ ජයලත් විජේසේකර මහතායි. එවකට මහා භාරකාරවරයා එක් වී මෙම රනින් පූජා කළ භාණ්ඩ ගෙන යන්නේ ලංකාවට යුද ජයග්‍රහණයක් ලබා ගැනීමට බාරයක් වීමටය. රන් භාණ්ඩ මංජුසාවෙන් එළියට ගත් පසු දස දෙසින් රුවන්වැලි සෑය පුදන්නට එන ජනතාවට දින ගණනාවක් දිවා රාත්‍රී දන්සලක් දීමට පියවර ගන්නා ලදී. ජයලත් විජේසේකර මහතා හා මහාභාරකාරයා එක්ව රුවන්වැලි සෑයට වූ බාරය නම් ලංකාවේ යුද්ධය ජයග්‍රහණය කළ විට රුවන්වැලි සෑයේ ඉරිතලා ඇති චූඩාමාණික්‍යය වෙනුවට නව චූඩා මාණික්‍යයක් ඔබ්බවන බවටය. නීතිය අනුව දැනට ඇති චූඩාමාණික්‍යය මහා භාරකාරවරයාට භාරදිය යුතු විය. ලංකාවේ හැම මැණික් ආයතනයකටම ගොස් අඟල් 24 කට වඩා උස මැණිකක් සෙවුවත් හමු වූයේ නැත. එහෙත් පසුව රුවන්වැලි සෑයට චූඩා මාණික්‍යය පූජා කළ සියම් රජ පවුලේ වත්මන් නෑයන් එයට චූඩාමාණික්‍යයක් පූජා කරන්නට එකඟ විය. නමුත් ඒ සඳහා වූ කටයුතුවලට රාජ්‍ය ආයතනවලට ගොස් ජයලත් මහතා හෙම්බත් විය. ලංකාව යුද්ධය ජය ගත්තේය. කාටත් එච්. ශ්‍රී නිශ්ශංක මෙන්ම රුවන්වැලි සෑයට වූ බාරය ද අමතක විය. මෙහි දෛවෝපගත සිදුවීම වන්නේ භාරය ඔප්පු කිරීමට තිබූ අවසන් දිනට පසුදින මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වීමය. එය එච්. ශ්‍රී නිශ්ශංකගේ මරණය මෙන් අබිරහසක් නොවේ. වජිර ලියනගේ
 

More News..