brand logo

එක රටක් එක නීතියක් නම් කාති උසාවි මොකටද?

06 February 2021

නජීමාගේ මාළිගාවත්තේ පදිංචිකාරියකි. දුප්පත්කම උරුමයක් කරගෙනම පැමිණි ඇය විවාහවූයේ ගුවන් හමුදාවේ සෙබළෙක් සමගය. දරුවන් දෙදෙනෙක් ලැබුණත් ඔවුන්ට සාමකාමී පවුල් ජීවිතයකට උරුමකම් කීමට හැකිවූයේ වසර කිහිපයක් පමණි. දරුවන්ගේ කරදඬු උස් මහත්වෙන්න, වෙන්න ඔවුන්ගේ පවුල් ප‍්‍රශ්නය උස් මහත්වෙන්නට විය. අවසානයේදී නජීමාගේ සැමියා ඇය හැර ගියේය. දරුවන් දෙදෙනා සමග ජීවිතය තනිවම ගැට ගසාගැනීමට නජීමා උත්සාහ ගත්තද එය එතරම් පහසු දෙයක් වූයේ නැත. ඇයගේ පිහිටට තිබුණේ මුස්ලිම් විවාහ හා දික්කසාද සම්බන්ධයෙන් කටයුතු කරන කාති උසාවිය පමණි. ඇය තමන්ගේ දුක කියමින් කාති උසාවියට ගියේ තමන්ට සාධාරණයක් ඉටුවනු ඇතැයි දැඩි අපේක්ෂාවක් සහිතවය. වසර ගණනක් තිස්සේ ඇගෙන් වෙන්ව සිටි සැමියා කාති උසාවියට කැඳවා තිබුණේ ඇයට සාධාරණයක් ඉටු කරදීමටය. එහෙත් සැමියාගෙන් ඇයට ලැබුණේ සහන මල්ලක් වෙනුවට චෝදනා මල්ලකි. කාති උසාවියේදී නජීමාගේ දුක් කන්දට වඩා සැමියාගේ චෝදනා කන්ද ලොකු විය. අවසානයේදී තරාදිය බර වූයේ ඇගේ සැමියාගේ පැත්තටය. තරාදිය අත දරාගෙන සිටියේ දෑස බැඳගත් කන්‍යාව නොවේ. ඒ වෙනුවට ගමේ ප‍්‍රභූවරයෙක් තරාදිය අත දරාගෙන සිටියේය. ඇයට ලැබුණේ මාසයකට රුපියල් හත්සිය පනහක දීමනාවක් ගෙවීම පමණි. ඇගේ ආබාධිත දරුවාට මාසයකට පැම්පස් මිලදී ගැනීමටවත් මේ මුදල ප‍්‍රමාණවත් වන්නේ නැත. ඒ නිසා ඇය කිහිප වතාවක් කාති උසාවියට ගියේ තමන්ට හා දරුවන්ට ප‍්‍රමාණවත් නඩත්තු මුදලක් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමිනි. දිගින් දිගටම කාති උසාවියට යන ඇයට කාතිවරයාගෙන් අසන්නට ලැබුණේ නින්දා අපහාස පමණි. ඒ නිසා කාති උසාවියට යෑම පැත්තකට තබා පත්තර කන්තෝරුවක් වෙත පැමිණියාය. ඒ තමන්ගේ දුක කීමටය. අවසානයේදී ඇයට යුක්තිය ඉටු වූයේ කාති උසාවියෙන් නොව පත්තරයෙනි. ඒ ඇගේ දුක පත්තරයෙන් කියවූ දේශපාලනඥයකුගේ බිරිඳක් ඇයට ආධාර කිරීමට ඉදිරිපත්වීම නිසාය. කාති උසාවි ගැන මේ ආකාරයේ චෝදනා එල්ලවීමට ගත්තේ අද ඊයේ සිට නොවේ. විටින් විට කාති උසාවි හා මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ගැන ඇතිවූ විවේචන නිසා පසුගිය ආණ්ඩුව සමයේදී, එම පනත සංශෝධනය කිරීමට නීති ගෙන ඒමට උත්සාහ ගත්තේය. එහෙත් එය අතරමග නතර වූයේ ජමියතුල් උලමා සංවිධානයෙන් එල්ලවූ විරෝධතා මැදය. මුස්ලිම් පුද්ගල නීති සංශෝධනය කිරීමේ ක‍්‍රියාකාරී කමිටුව විසින් මේ සම්බන්ධයෙන් වාර්තා කිහිපයක් සකස් කර ප‍්‍රකාශයට පත් කළේ කාති උසාවිවලින් හා මුස්ලිම් විවාහ හා දික්කසාද පනත අනුව කාන්තාවන්ට සිදුවන හිරිහැරවලට විසඳුම් ඉල්ලා සිටිමින්ය. ‘‘ලංකාවේ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සහ කාති අධිකරණ පද්ධතියෙහි පවතින ගැටලු හා අභියෝග ගැන දීර්ඝ කාලයක් තිස්සේ කරුණු ඉදිරිපත් කර තිබෙනවා. මේ පනත හා කාති අධිකරණ පද්ධතිය ක‍්‍රියාත්මකවූ 1951 වසරේ සිට මේ දක්වාම වෙනස් කොට සැලකීමට හා අයුක්ති සහගත ක‍්‍රියාවන්ගෙන් වැඩිපුරම පීඩාවට පත්වූයේ කාන්තාවන් බව පිළිගත යුතුයි. ඒ වගේම මේ පනත අනුව මුස්ලිම් කාන්තාවන් හා ළමුන් දෙවැනි පංතියේ පුරවැසියන් බවට පත්කර තිබෙනවා’’ මුස්ලිම් පුද්ගල නීති සංශෝධනය කිරීමේ ක‍්‍රියාකාරී කමිටුව පවසන්නේය. කාති උසාවි පද්ධතිය ගැන අදහස් දක්වමින් හිටපු ඇමැතිනි සහ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ දේශපාලන නායකයාව සිටි ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නිර්මාතෘ ඒ.එච්.එම්. අශ්රොෆ්ගේ බිරිඳ වන ෆෙරියල් අශ්රොෆ් පැවසුවේ කාති උසාවියේ නඩු විසඳන කාතිවරුන් පත් කිරීම සම්බන්ධයෙන් නිශ්චිත සුදුසුකම් දක්වා නොතිබීම නිසා කාතිවරුන් සම්බන්ධයෙන් නොයෙක් චෝදනා එල්ලවන බවය. කාති උසාවි යැයි හැඳින්වුවද මෙය සාමාන්‍ය අධිකරණ පද්ධතියේ දක්නට ලැබෙන අධිකරණයක් මෙන් නොවේ. මුස්ලිම් විවාහ හා දික්කසාද පනත අනුව දික්කසාදයක් ලබාගැනීමට අවශ්‍ය අයෙක්ට යාමට කාති උසාවි පත්කර තිබෙන්නේ ගමේ සාමාන්‍ය වැදගත් යැයි සැලකෙන පුද්ගලයින්ට අදාළ බලතල දෙමින්ය. දික්කසාදයක් අවශ්‍ය පුද්ගලයින් දෙදෙනෙක් කාතිවරයෙක් හමුවට පැමිණ ‘‘තලාක්’’ යැයි තුන්වරක් කීමෙන් පසුව ඔවුන්ගේ විවාහය අවසන් වෙයි. ‘‘කාතිවරුන් විදියට පත් කරන පුද්ගලයින්ට සුදුසුකම් මේවා යැයි ඉදිරිපත් කර නැහැ. ඒ නිසා ගමේ ඉන්න ලොක්කෙක් කාතිවරයෙක් විදියට පත් කරනවා. අවුරුදු හතළිහට ඉහළ පිරිමි අයෙක්ට තමයි කාතිවරයෙක් විදියට පත්වීමට හැකියාව තිබෙන්නේ. ඒ හැරෙන්නට උගත්කමක් හෝ වෙනත් කිසිදු සුදුසුකමක් මේකට ඇතුළත් කරලා නෑ. ඒ වගේම කාති උසාවියක් පවත්වාගෙන යාම සඳහා නිශ්චිත ස්ථානයක් නම් කරලත් නැහැ. බොහෝ අවස්ථාවලදී එයාගේ ගෙදරට තමයි මේ කටයුතු කරන්නේ’’ ප‍්‍රායෝගිකව කාති උසාවියේ වැඩ කටයුතු සිදුවන ආකාරය ගැන ෆෙරියල් අශ්රොෆ් කීවාය. දික්කසාද ලබාදීමේදී කාතිවරුන් පිරිමි පාර්ශ්වයට පක්ෂග‍්‍රාහීව කටයුතු කරන බව බොහෝ අවස්ථාවලදී නැගෙන චෝදනාවකි. ‘‘කාති උසාවිය කියලා කිව්වට මේක සාමාන්‍ය උසාවි පද්ධතියේ තියෙන උසාවියක් වගේ නෙමෙයි. මුස්ලිම් විවාහ හා දික්කසාද පනත අනුව ගමේ ලොක්කෙක් මේකට පත් කරනවා. එයාට සුළු ගෙවීමක් කරනවා. එයාගේ ගෙදරම උසාවිය තියනවා. සුළු ගෙවීමක් කරන නිසා සමහර වෙලාවට මුදල් ලබාගැනීම් දේවල් සම්බන්ධයෙන් එහෙම චෝදනා එල්ලවෙනවා’’ ෆෙරියල් අශ්රොෆ් පැවසුවාය. ‘‘කාතිවරු විදියට ගොඩක් වෙලාවට විශ‍්‍රාම ගිය අය පත් කරනවා. මේ අයට මාසයකට රුපියල් හයදහක දීමනාවක් විතරයි ගෙවන්නේ. ගොඩක් වෙලාවට අවුරුදු හැත්තෑවකට වඩා වයස විශ‍්‍රාම ගිය අය තමයි මේවාට දාලා තියෙන්නේ. ඒ අයගේ හිතවතෙක් ආවොත් ඔහුට වාසිදායක විදියට තමයි නඩු විසඳන්නේ.’’ සමාජ ක‍්‍රියාකාරිනියක් වන නීතිඥ හස්නා සේගු ඉසදීන් පැවසුවාය. ‘‘බොහෝ තැන්වල එක දවසක නඩු අහන්නේ. ඒ නිසා ඒ දවසට ඇවිත් රස්තියාදු වෙන්න වෙනවා. සමහර වෙලාවට මේවා ප‍්‍රධාන මාර්ග අසල නෙමෙයි තියෙන්නේ. ඔය ගම්වල ඇතුල්වල ගෙවල්වල කාති උසාවි පවත්වාගෙන යනවා. ඉතිං සාධාරණයක් බලාපොරොත්තු වෙන දුප්පත් අයට ත‍්‍රීවිල්වලට එහෙම ලොකු ගානක් වියදම් කරගෙන යන්න වෙනවා. ගෙවල්වල මේවා තියෙන නිසා කාන්තාවක් වැසිකිළියක් පාවිච්චි කරාට පස්සේ ඇය ලවාම සම්පූර්ණ වැසිකිළිය සුද්ද කරගන්න අවස්ථා තිබෙනවා’’ හස්නා කීවාය. කාති උසාවියේ නඩු තීන්දු දීමේදී වන්දිදීම් සම්බන්ධයෙන් එල්ලවන්නේ බරපතළ චෝදනාය. නජීමා මෙන්ම බොහෝ දෙනාට ප‍්‍රමාණවත් වන්දි මුදලක් ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැත. ‘‘කාති උසාවිවල ඉන්න අය දරුවෙක්ගේ කිරි පිටි පැකට් එකක මිල කීයද කියලා දන්නේ නැහැ. ඒ වගේ අයගෙන් සාධාරණ වන්දියක් අපේක්ෂා කරන්න බෑ’’ හස්නා කීවාය. ෆෙරියල් අශ්රොෆ් පවසන්නේ මෙවැනි චෝදනා නිසා මුස්ලිම් විවාහ නීතිය හා කාති උසාවි පද්ධතියට සංශෝධන ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඇති බවය. එක රටක් එක නීතියක් ක‍්‍රියාත්මක වන බව පවසන්නේ නම් මේ සම්බන්ධයෙන් වෙනම නීති නොතිබිය යුතු බව ඇගේ අදහසයි. අධිකරණ ඇමැති අලි සබ්රි පවසන්නේ මේ නීති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව ඇති බවය. ‘‘මුස්ලිම් නීතිය විතරක් වෙනස් කරන්න බෑ. එහෙම නම් උඩරට නීතිය, තේසවලාමේ නීතියත් ඉවත් කරලා, සේරම පොදු නීති පද්ධතියකට අරගෙන එන්න ඕන. අපි මේ ගැන අවධානය යොමු කර ගත යුතු පියවර සම්බන්ධයෙන් තීරණය කිරීමට කමිටුවක් පත්කර තිබෙනවා’’ අලි සබ්රි පැවසුවේය. එහෙත් හස්නා පවසන්නේ ලෝකයේ අනෙක් රටවල ක‍්‍රියාත්මක වන ආකාරයට කාති උසාවි පද්ධතිය නියමිත ක‍්‍රමවේදයක් අනුව සකස් විය යුතු බවය. කාන්තාවන්ට කාතිවරුන් ලෙස පත්වීමට අවස්ථාව දීම, නිසි ආරක්ෂාව ලැබෙන සාධාරණය ඉටුවන කාති අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම මුස්ලිම් කාන්තාවන්ගේ අපේක්ෂාවන් බව ඇය පවසන්නීය. ‘‘කාන්තාවකට හා පිරිමියෙක්ට එකට ඉන්න බැරිනම් වෙන්වීමට අවස්ථාව තිබිය යුතුයි. හැබැයි ඒ සඳහා ලැබෙන තීන්දු තීරණ සාධාරණ විය යුතුයි. දැන් තිබෙන ක‍්‍රමය හරහා කාන්තාවන්ට සිදුවන අසාධාරණයන් ඉවත් කරලා, සාධාරණ ක‍්‍රමවේදයක් සකස් කරන්න කියලා රජයෙන් ඉල්ලීම් කරනවා’’ ෆෙරියල් අශ්රොෆ් කීවාය. මුස්ලිම් පුද්ගල නීති සංශෝධනය කිරීමේ ක‍්‍රියාකාරී කමිටුව ඉල්ලා සිටින්නේ පසුගිය ආණ්ඩුව සමයේදී ගෙන ආ සංශෝධන ක‍්‍රියාත්මක කරන ලෙසය. එම සංශෝධන ඉදිරියට ගෙන යන්නේ නැතිනම් මුස්ලිම් කාන්තාවන්ට හා ළමුන්ට සාධාරණයක් ඉටු කරගැනීමට අවස්ථාවක් නොලැබෙන බව ඔවුන්ගේ අදහසයි. කෙසේ වෙතත් පසුගිය ආණ්ඩුව කාලයේදී මේ නීති වෙනස් කිරීමට ගත් උත්සාහයන් දැඩි මතධාරී කණ්ඩායම්වල බලපෑම හමුවේ නතර වූවේය. නැවත වරක් ඒවා සංශෝධනය කිරීමට අලි සබ්රි ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවට අනුව ඉදිරි වැඩ කටයුතු සිදුවේ යැයි කීමට තවමත් කල් වැඩිය. සංජය නල්ලපෙරුම
 

More News..