brand logo

එක පාරක් වැරදුණාට හැමදාම වරදින්නේ නැහැ

22 August 2022

ටාගට් කවර් කරන් විවාහය ගැන හිතනවා

රංගනය භාවනාවක් වගේ

තිරයේ මගේ පළමු පෙම්වතිය ශලනි

    රංගන ශිල්පීන් අධ්‍යක්ෂවරු වෙනවා. නමුත් ඒ තුළ සාර්ථක වෙන්නේ කිහිප දෙනයි. රනිල් කුලසිංහ කියන්නේ රංගන ශිල්පියෙක් ලෙස නිර්මාණ කිහිපයකින් ප්‍රේක්ෂක ආදරය දිනා ගත්ත, අධ්‍යක්ෂවරයෙක් ලෙසත් විශාල පිම්මක් පැන්න කලාකරුවෙක්. ඔහු ඉලක්කයකට මාන බලමිනුයි ජීවත් වෙන්නේ. ජීවිතයේ හැලහැප්පීම් කොතෙක් තිබුණත් ඉලක්කය අතහරින්න ඔහු සූදානම් නැහැ. රංගනයේ විරාමය අහවර කරලා වගේ? ඇත්තටම ‘මීනු’ ටෙලි නිර්මාණයෙන් මාව දකින්න ලැබෙන්නේ අවුරුදු දෙකහමාරකට විතර පස්සේ. අධ්‍යක්ෂවරයෙක් විදිහට ඒ වගකීම් සහගත කාර්යයට මම වැඩි කාලයක් වෙන් කරලා තිබ්බා. ඒ නිසා තමයි මම රංගනයෙන් ටිකක් ඈත් වෙලා හිටියේ. කාලයකට පස්සේ ඉරේෂ් ලොකුබණ්ඩාර අධ්‍යක්ෂණය කරන ගයනි රචනා කරන, ෆාහීම් නිෂ්පාදනය කරන මීනු නාට්‍යයට මට ආරාධනාවක් ලැබුණා. රුසිරු කියන මට ලැබුණ චරිතයේ යමක් කරන්න තිබ්බ නිසා මම ඉතාම කැමැත්තෙන් ඒ චරිතය භාර ගත්තා. මේ වෙනකොට කාලෝචිත පිටපතක් තිබෙන මීනු වෙනුවෙන් හොඳ ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. අධ්‍යක්ෂවරයෙක් ලෙස යම් තැනක් හදාගෙන ආයෙත් රංගනයට එකතු වෙද්දි මටත් එහි යම් වෙනසක් දැනෙන්න ගත්තා. ඒ නිසා මීනු කියන්නේ මම හරි ආසාවෙන් කළ වැඩක්. ශලනි, මේනක එක්ක නිර්මාණයට ඉතාම හොඳ දායකත්වයක් දෙන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. තිරයේදි ඔබේ පළමු පෙම්වතිය වූ ඇය මේ නිර්මාණය තුළත් ඔබට මුණ ගැහෙනවා? මගේ රංගන ජීවිතයේ පළමුවැනි ප්‍රධාන චරිතය කරපු ‘දූවිලි මල්’ නාට්‍යයේ මගේ පෙම්වතිය වුණේ ශලනි. ඇය මට මීනු නාට්‍යයෙදිත් මුණගැහෙනවා. ශලනි කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්. අවුරුදු දෙකහමාරක විරාමයකින් පස්සේ මම රඟපාන්න එද්දිත් ශලනි එක්ක රංගනයට දායක වෙන්න ලැබීම හොඳ හමුවීමක්. ඔබ අධ්‍යක්ෂවරයෙක් වුණාට පස්සේ වෙනත් නිර්මාණවලට ලැබෙන ආරධනා අඩු වුණාද? නැහැ. එහෙම අඩුවක් නැහැ. මම තමයි මගේ වැඩ නිසා අනෙක් වැඩවලට ලැබුණ ආරාධනාවලට පස්ස ගැහුවේ. මම නළුවෙක් විදිහට ලොකු නාට්‍ය ප්‍රමාණයක රඟපාලා නැහැ. හැබැයි මට අනිවාර්යයෙන් අවුරුද්දකට නිර්මාණ දෙකකටවත් ආරාධනා ලැබෙනවාමයි. මේනකා පීරිස් ඔබේ කලින් නිර්මාණවල නිතර පේන්න හිටියා. දැන් ඔබ ඇයව නිර්මාණවලට සම්බන්ධ කර ගන්නේ නැති වෙයිද? මේනකා පීරිස් කියන්නේ ඉතාම දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයගේ දක්ෂතාව අනුව ඇයව පිටපතට ගැළපෙනවා නම්, නිෂ්පාදන කණ්ඩායමත් එක්කත් කතා කරලා ගැළපෙන බව අනුව ඇයව සම්බන්ධ කරගන්න මම මැළි වෙන්නේ නෑ. මම පෞද්ගලික හේතු නිර්මාණ කාර්යයට අදාළ කර ගන්නෙත් නෑ. මට කා එක්කවත් හිත් අමනාපකම් නැහැ. අධ්‍යක්ෂණයේදි මගේ භූමිකාව හරියට කරනවා. වෙච්ච ඒවා වුණා. ඒවා නිර්මාණ කාර්යයට කොහෙත්ම අදාළ කරගන්නේ නැහැ. ඔබ පුංචි තිරයේ හොඳ ආදරවන්තයෙක්. සැබෑ ජීවිතයෙත් එහෙමද? මගේ ජීවිතේ ආදර කතා තිබිලා තියෙනවා, නැති වෙලා තියෙනවා. මම සැබෑ ජීවිතයේ හොඳ ආදරවන්තයෙක්ද කියලා මටම කියා ගන්න නම් බැරි වෙයි. ජීවිතයේ අලුත් පිටුවක් පෙරළන්න කාලය හරි කියලා හිතෙන්නේ නැද්ද? කාලේ හරි කියලා මගේ යාළුවෝ, ළඟින් ඇසුරු කරන අය නම් කියනවා. මගේ ජීවිතයේ හැලහැප්පීම් වුණා. ගිය අවුරුද්දේ මගේ අම්මත් නැති වුණා. ජීවිතයේ ලොකු පීඩනයක් ඒක. හැබැයි වෙච්ච කිසි දෙයක් ගැන හිතලා දුක් වෙන කෙනෙක් නෙවෙයි මම. මේ වෙලාවේ මගේ අවධානය සම්පූර්ණයෙන් තියෙන්නේ කලාවට. චිත්‍රපටයක් කරන මගේ ප්‍රධාන අරමුණ වෙනුවෙන් රුසියානු චිත්‍රපට අධ්‍යයනය කිරීම මේ මොහොතෙත් කරමින් ඉන්නවා. වෙන දේවල්වලට මේ කාලේ අවධානය දෙන්න එතරම් කැමැත්තක් නැහැ. ඒ කියන්නේ ආයේ විවාහ වෙන්නේ නෑ කියන එක නෙවෙයි නේද? කවදා හරි මම විවාහයකට යයි කියලා හිතනවා. හැබැයි ඒක ළඟකදි නම් කොහෙත්ම වෙන්නේ නෑ. මගේ ටාගට්වලට ගිහින් විවාහය ගැන හිතනවා. හැමදේම එකට පටලවාගන්න අවශ්‍ය නෑ. ජීවිතයට සහකාරියක් තෝරා ගනිද්දි මේ සැරේ දෙපාරක් තුන් පාරක් හිතයිද? මම හැමදේම ලොකුවට හිතන කෙනෙක් නෙවෙයි. මම ගත්ත තීරණ ගැන මට කිසිම කලකිරීමක් නැහැ. ජීවිතයේ ඒ ඒ කාලවල ගත්ත තීරණ මම සතුටින් ගත්තේ. ඒ තීරණ හරි යන්න පුළුවන්, වරදින්න පුළුවන්. වැරදුණ දේවල් ගැන දුක් වෙන්නේ නෑ. වෙච්ච දේවල්වලින් කාට හරි හොඳක් වෙනවා නම් තමයි හොඳ. මම සියයට සියයක් හරි කියලා කියන්නේ නෑ. හිතට එකඟව නම් මම කාටවත් වැරැද්දක් කරලා නෑ. සරලව සැහැල්ලුවෙන් ජීවත් වෙලා ජීවිතයේ ඉස්සරහට යන්නයි මට ඕනේ. විවාහයට තෝරාගන්න බලාපොරොත්තු වෙන්නේ කොහොම කෙනෙක්ද කියලා අදහසක් ඇති නේද? මගේ විවාහ ජීවිතය අසාර්ථක වුණා කියලා කලින් වුණ දේවල්වලට අවධානය දීලා ඉදිරි තීරණ ගන්න මහන්සි වෙන්නේ නෑ. මගේ ජීවිතයේ වෙනසක් වෙනවා නම් රනිල් විදිහට මට එදා දැනුණ දේවල් ටිකමයි ඒ වෙනස වෙන දවසටත් බලන්නේ. මම සරල මනුස්සයෙක්. මගේ අඩුපාඩුවක් දකිනවා නම් මම ඒවා හදාගන්නවා. ඒක මගේ වගකීම. ඒ මිසක් කලින් අත්දැකීම්වලින් ඊළඟ තේරීම් කරන්න ගිහින් තව කෙනෙක්ට අසාධාරණයක් කරන්න මම කැමති නැහැ. මම මගේ හිතට දැනෙන අවංක තීරණය ගනියි.
 

More News..