brand logo

එකොළහක් රකින්නට දොළොස් දහසක පොලිස් බළ ඇණියක්

05 October 2019

ඕනෑම කෙනකුට තමන්ගේම කියා වීරයෙක් සිටී. විශේෂයෙන්ම ක්‍රීඩාලෝලීන්ට. තමන් ප්‍රිය කරන ක්‍රීඩාවේ වීරයෙක් වෙයි. පාකිස්තානයේ මොහොමඩ් කලීල් බස් රියැදුරෙකි, ක්‍රිකට් පිස්සෙකි. මේ මොහොමඩ් කලීල්ගේ ක්‍රිකට් පිටියේ වීරයා කුමාර් සංගක්කාරයි. කුමාර් සංගක්කාරටත් වීරයෙක් වෙයි. ඒ පාකිස්තානයේ බස් රියැදුරු මොහොමඩ් කලීල්ය. සංගක්කාරට මතු නොව මහේල ජයවර්ධනටද කලීල් වීරයෙකි. 2009 මාර්තු 03 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිටියේ පාකිස්තානයේ ලාහෝර් නගරයේය. ඒ ගඩාෆි ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයකට සහභාගි වෙමිනි. ඒ වන විටද ත්‍රස්ත තර්ජන නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට විශේෂ ආරක්ෂාවක් යොදා තිබිණි. කණ්ඩායම නතර වී සිටි හෝටලයේදී උප නායක කුමාර් සංගක්කාරට තමන් ගමන් ගන්නා රථයේ රියැදුරු කලීල් හමුවිය. ‘‘කොහොමද කලීල් මහත්තයා මෙහේදී අපේ ආරක්ෂාව එහෙම?’’ සංගක්කාර නිකමට මෙන් කලීල්ගෙන් විමසුවේය. ‘‘මොකුත් වෙන්නේ නෑ. එහෙම දෙයක් වුණොත් මේ මම වගේ දාහක් දෙනා සර්ලා වෙනුවෙන් ජීවිතේ වුණත් කැප කරන්න ලෑස්තියි. අනික ඔබ මගේ වීරයානේ’’ කලීල් කීවේය. ඒත් අවාසනාවකට මෙන් පසුදින උදයේ ශ්‍රී ලංකා කණ්ඩායම ගඩාෆි ක්‍රීඩාංගණයට යන අතරතුරේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. ඉන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් හයක් සහ සිවිල් වැසියන් දෙදෙනෙක් මිය ගියහ. ලංකා කණ්ඩායමේ තිලාන් සමරවීර, අජන්ත මෙන්ඩිස් හා තරංග පරණවිතාන බරපතළ තුවාල ලැබූහ. සෙස්සන්ටද තුවාල විය. එදා ලංකා කණ්ඩායමේ දිවි ගැලවුණේ ඔවුන් ගමන්ගත් බස් රථය පැදවූ කලීල්ගේ දක්ෂතාව නිසාය. ඔහු ත්‍රස්ත වෙඩි නොතකා රථය ක්‍රීඩාංගණය ඇතුළටම ගෙන නොයන්නට ඉතිහාසය මීට වඩා ඛේදවාචකයක් වන්නට ඉඩ තිබුණි. ත්‍රස්ත ප්‍රහාරයෙන් පැය කීපයකට පසු ලංකා ක්‍රීඩකයන් ලාහෝර් රෝහලට ඇතුළත් කෙරිණි. ඔවුන් බලන්නට කලීල්ද රෝහලට දිව ආවේය. එහිදී කලීල්ගේ අත අල්ලාගත් සංගක්කාර, ‘‘ඔබ තමයි මගේ වීරයා’’ යැයි කීවේය. සංගක්කාරට කලීල් වීරයෙක් වූයේ ඒ විදියටය. පසු කලෙක මේ කලීල් ලංකාවටද ආවේය. එවිට ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ක්‍රීඩකයන් එක්ව තෑගි මුදල්ද පරිත්‍යාග කෙරිණි. මහේල ජයවර්ධන පවා එහිදී කියා තිබුණේ කලීල් නොවන්නට ලංකා කණ්ඩායමට වෙන දේ සිතා ගැනීමටවත් නොහැකි වන බවයි. මේ සියල්ල යළි මතකයට නැගෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යළිත් වතාවක් පාකිස්තානයේ සංචාරයක නිරත වීමත් සමගිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම තරග සංචාරය පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩාවට මල් වැස්සක් බඳු යැයි එරට මාධ්‍ය මහ ඉහළින් වර්ණනා කර තිබුණි. ඒ 2009 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ලොව පිළිගත් කිසිම ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානු සංචාරයකට සහභාගි නොවුණු නිසාය. 2009 වසරින් පසු 2015 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායමක් පාකිස්තානු තරග සංචාරයක නියැළුණද ඒ වන විට සිම්බාබ්වේ කණ්ඩායම කවුරුත් ගණන් නොගන්නා කණ්ඩායමක් බවට පත්වී තිබුණි. නැවත 2017 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් විස්සයි විස්ස තරග කීපයක් සඳහා පාකිස්තානයට ගියේය. ලංකාවේ නිත්‍ය නායක මැතිව්ස් එම සංචාරයට සහභාගි නොවෙද්දී නායකත්වයේ සුක්කානම භාරගත්තේ තිසර පෙරේරාය. එදා පාකිස්තානුවන්ට තිසර පෙරේරා පෙනුණේ තමන්ගේ ක්‍රිකට් ගොඩගන්නට ආ වීරයකු හැටියටය. ඔවුහු ඒ බව ලෝකයටම ඇහෙන්නට මාධ්‍ය හමුවේ කියා සිටියහ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවර පාකිස්තානයට ගොඩබැස්සේ පසුගිය 24 වැනිදාය. ඒ ආරක්ෂාව පිළිබඳ අවිනිශ්චිතතාවද කරපින්නාගෙනය. පසුදින එනම්, 25 වැනි දින එරට පුවත්පත්වල ‘ජනාධිපතිවරයකුට ලැබෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් යටතේ ශ්‍රී ලංකා පිල පාකිස්ථානයට ගොඩ බසී’ යන ශීර්ෂ පාඨය යටතේ ප්‍රවෘත්ති පළ විය. පසුගිය 24 වැනිදා පැරණි කරච්චි ගුවන් තොටුපොළට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආරක්ෂක විශේෂඥයන්ගේ සුවිශේෂී ආරක්ෂාව මැද ප්‍රභූ පර්යන්තය ඔස්සේ ඔවුන් නවාතැන් ගන්නා හෝටලය වෙත මහ වැස්ස මැද්දේම රැගෙන ගියේය. ‘ඔවුන් ප්‍රවාහනය සඳහා වෙඩි නොවදින අති සුඛෝපභෝගී බස් රථයක් යොදවා තිබූ අතර, අමතර ආරක්ෂාව සඳහා වෙඩි නොවදින මෝටර් රථ හා ජීප් රථ බසය දෙපසින් යොදවා තිබුණි’ යනුවෙන්ද එම ප්‍රවෘත්තියේ පළවිය. තවත් විදෙස් මාධ්‍යයක සඳහන්ව තිබුණේ කරච්චියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානු හමුදා භටයන් දෙදහසකගේ ආරක්ෂාවක් ලබාදී ඇති බවයි. දෙදහස් නවයේ ප්‍රහාරයෙන් පසුව පාකිස්තානය ජාත්‍යන්තර කණ්ඩායම් නොඑන ක්‍රිකට් කාන්තාරයක් බවට පත්විය. ඔවුන් තමන්ගේ ක්‍රීඩා පිටිය ලෙස භාවිත කළේ අසල්වැසි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩාංගණයය. 1992දී පාකිස්තානයට ලෝක කුසලානය දිනා දුන් නායකයා ඉම්රාන් ඛාන් දැන් මුළු පාකිස්තානයේම නායකයාය. ඔහු මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම එරටට ගෙන්වා ගැනීම සඳහා විශාල උනන්දුවක් දැක්වූයේ ආරක්ෂාව පිළිබඳ ලෝක විශ්වාසය දිනා ගැනීම සඳහා එය ප්‍රබල අවියක් වන බැවිනි. ඒත් ලංකාවෙන් ගිය කණ්ඩායමට ප්‍රමුඛ පෙළ ක්‍රීඩකයන් දහයක්ම අයත් වූයේ නැත. ලංකාවෙන් එන්නේ දෙවැනි පෙළ කණ්ඩායමකැයි ඇතැම් පාකිස්තානු ක්‍රිකට් විචාරකයන්, පාකිස්තානු මාධ්‍ය මෙන්ම හිටපු ක්‍රීඩකයන්ද මැසිවිලි නැගුවෝය. ඒත් පාකිස්තානු විදේශ අමාත්‍යාංශයට අනුබද්ධිතව ක්‍රියාත්මක වන ගැටුම් අධ්‍යයන ආයතනයේ පර්යේෂකයකු මෙන්ම මත සකසන්නෙක්ද වන උල්ලා ඛාන් කියා තිබුණේ කුමන තත්ත්වයක් යටතේ වුවද ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචාරය පාකිස්තානයට ඉතාමත් වැදගත් බවයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තානු සංචාරය ස්ථිර වීමත් සමගම වැඩිපුරම කතාබහට ලක්වූයේ ආරක්ෂාවයි. ආරක්ෂාව සහතික කරන බව පාකිස්තානය කියද්දී ලංකාවේ බලධාරීන් කීප වතාවක්ම පාකිස්තානයට ගොස් ආරක්ෂාව ගැන සොයා බැලූහ. එපමණක්ද නොවේ. ස්වාධීන විනිශ්චයකරුවන්, තරග තීරකවරුන් පාකිස්තානයට එවන්නට ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයද ආරක්ෂාව පිළිබඳ විශේෂ පරීක්ෂණයක් කළ බවද විදෙස් මාධ්‍ය කියා තිබුණි. ලංකා කණ්ඩායම පාකිස්තානයට ගියේ එවැනි පසුබිමක් යටතේය. ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණය ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂී තැනකි. 1996 ලෝක කුසලානය ලංකාව දිනුවේ ගඩාෆි ක්‍රීඩාංගණයේදීය. ඊට වසර දහතුනකට පසුව 2009 වසරේදී ලංකා කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළේ මේ කියන ගඩාෆි ක්‍රීඩාංගණය අසලදීමය. මෙවර පාකිස්තානයට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි විස්ස තරග පැවැත්වෙන්නේද මේ ගඩාෆි ක්‍රීඩාංගණයේදීමය. තරග ආරම්භ කෙරෙන්නේ ලබන 05 වැනිදාය. මෙහි විශේෂත්වය වන්නේ 27000ක ප්‍රේක්ෂක පිරිසකට පමණක් ඉඩකඩ ඇති ගඩාෆි ක්‍රීඩාංගණයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් දොළොස් දහසක් යොදවා තිබීමයි. මේ දොළොස් දහස භාරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු තිදෙනෙකි. පොලිස් අධිකාරීවරු දහතුන් දෙනෙකි. දිසාව භාර පොලිස් අධිකාරීවරු එකසිය තිස් එකකි. පොලිස් පරීක්ෂකවරු හත්සිය දහඅටකි. ඊට අමතරව යුද හමුදාවේ විශේෂ බළකායේ සෙබළු දෙදහසකට අධික පිරිසකි. මේ අනුව මෙය වාර්තා පොත් අතරට යන්නේ වසර දෙසීයකටත් වඩා පැරණි ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉතිහාසයේ වැඩිම ආරක්ෂක භට පිරිසක් යෙදවූ තරගය හැටියටය. පාකිස්තානු මාධ්‍ය වාර්තා කරන හැටියට මීට අමතරව මෙම තරග තුනේදී ගඩාෆි ක්‍රීඩාංගණයට ප්‍රේක්ෂකයන් ඇතුළත් කර ගැනෙන්නේ පූර්ණ පරීක්ෂාවකින් පසුවය. කිසිම අමතර දෙයක් ක්‍රීඩාංගණය තුළට ගෙන ඒම තහනම් කොට තිබේ. ඒ හැර මුළු ක්‍රීඩාංගණය වටා මෙන්ම නගරයේ සෑම තැනකම අලුතින් සීසීටීවී කැමරා සවිකර ඇත්තේය. සති කීපයක් තිස්සේ සිට පොලිසිය නිරන්තරයෙන්ම නගරයේ ආරක්ෂාව පිළිබඳව සෝදිසියෙන් සිටින්නේය. සැක කටයුතු තැන් පිරික්සන්නේය. මීට අමතරව උස් ගොඩනැගිලිවල මුදුනේ දුර සිට ඉලක්ක ගත හැකි ස්නයිෆර් තුවක්කුකරුවන් ස්ථානගත කර ඇත්තේය. හමුදා හා පොලිස් හෙලිකොප්ටර් යොදවා කුරුලු ඇසින් නිරීක්ෂණය කරන්නේය. මේ සියලුම තත්ත්වයන් යටතේත් පාකිස්තානු රජයත්, ක්‍රිකට් පාලක මණ්ඩලයත් සලකන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචාරය තම රට ලද ජයග්‍රහණයක් බවයි. උපාලි තිලකරත්න
 

More News..