brand logo

එක්ස්ප්‍රස් පර්ල් හානිය සොයන්න පිටරටින් විශේෂඥයෝ 03 දෙනෙක්

15 June 2021

  එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් සිදුවූ හානිය නිශ්චිතව ගණනය කිරීම සඳහා ජාත්‍යන්තර විශේෂඥයින් තිදෙනකු මෙරටට පැමිණෙන බව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි ඊයේ (14 වැනිදා) පැවැසීය. නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් මෙරට ආර්ථිකයට පරිසර පද්ධතියට, ධීවර කටයුතුවලට මෙන්ම ක්ෂේත්‍ර රැසකට දැඩි බලපෑම් ඇති වී තිබෙන හෙයින් ඊට අදාළ වන්දි ලබා ගැනීමට ජාත්‍යන්තර විශේෂඥ සහාය ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මෙරට නියෝජිතවරිය සමග කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස අදාළ විශේෂඥයින් තිදෙනා මෙරටට පැමිණෙන බවද අධිකරණ ඇමැතිවරයා සඳහන් කළේය.
මෙරටට සිදුවූ හානිය සම්බන්ධයෙන් වූ ප්‍රධාන හිමිකම් පෑම වෙනුවෙන් කටයුතු කිරීම සඳහා කමිටු 05ක් පත්කර තිබෙන බව සඳහන් කළ අධිකරණ ඇමැතිවරයා එම කමිටු සියල්ල කඩිනමින් අදාළ කටයුතු වෙනුවෙන් ක්‍රියාත්මක වී ඇතැයි ද සඳහන් කළේය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්නෙන් මෙරටට සිදුවූ බලපෑම හා හානිය සම්බන්ධයෙන් සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි වන්දි ලබාගැනීම හා ඊට අදාළ නෛතික කටයුතු සිදු කිරීමට නීතිපතිවරයාට අවශ්‍ය සහාය ලබාදීම පිළිබඳව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අධිකරණ අමාත්‍යාංශයේදී ඊයේ (13 වැනිදා) පැවැති සාකච්ඡාවකදී අධිකරණ ඇමතිවරයා එම කරුණු අනාවරණය කළේය. මෙම සාකච්ඡාවට රාජ්‍ය ඇමැතිවරුන් වන ආචාර්ය නාලක ගොඩහේවා, කාංචන විජේසේකර, නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් ඇතුළු පිරිසක් සහභාගි වූහ. ඉෂාර රත්නකාර
 

More News..