brand logo

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අරලියගහ මන්දිරයේදී හමුවෙයි

20 November 2018

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී රැස්වීමක් පැවැත් වුණා. එම පක්ෂයට සම්බන්ධ සියලුම පක්ෂ නායකයින් ඊට සහභාගි වූ බවටයි තොරතුරු වාර්තා වන්නේ. එහිදී පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවට සාමාජිකයන් නම් කිරීම සහ ආණ්ඩුවට එරෙහිව ඉදිරියේදි ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා වී තිබෙනවා. ඉදිරි මැතිවරණ වලදී පෙරමුණක් ලෙස තරග කිරීම සහ ඊට සැලසුම් විය යුතු ආකාරය පිළිබද අවධානය යොමු වී තිබෙනවා. එම රැස්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහයා ලබාදීමට මන්ත්‍රීවරුන් 86ක් පමණක් සිටින බවත්, ඔහුට බහුතරය පෙන්වීමට නොහැකි බවයි අජිත් පී පෙරේරා කියා සිටියේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ද පසුගිය දින කිහිපයේදී පාර්ලිමේන්තුවට නොපැමිණි බවත් ඔහු පැවසුවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පිරිස පාර්ලිමේන්තුව තුළ බහුතරය සොයාගැනීමට නොහැකිව විවිධ උත්සහයන්වල නිරත වන බවට අකිල විරාජ් කාරියවසම් පවසනවා. අද උදෑසන ද මන්ත්‍රීවරයෙක් දුරකථනයෙන් කථා කර කියන ඕනෑම දේකට එකඟ වෙන්නම් ඔවුන්ට ඡන්දය ලබා දීමට කටයුතු කරන ලෙස තමාට පැවසූ බවත් කාරියවසම් මන්ත්‍රීවරයා කියා සිටියා. මේ අතර ප්‍රජාතන්ත්‍ර විරෝධීව සිදුව ඇති ක්‍රියාදාමයන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂය උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් අකිල විරාජ් කාරියවසම් මන්ත්‍රීවරයා කියා සි‌ටියේ ලබන 24 වනදා මහනුවරදී එහි පළමු උද්ඝෝෂණය ආරම්භ කරන බවයි. ඉන් අනතුරුව නොවැම්බර් 27 වන දින කළුතර නගරයේදී, දෙසැම්බර් 03 වන දා වෘත්තීයවේදීන්ගේ විරෝධතාවයක් හා දෙසැම්බර් 04 වන දින කිරිබත්ගොඩ දී තවත් උද්ඝෝෂණයක් සංවිධානය කර ඇති බව ද අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා.
 

More News..