brand logo

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ කැබිනට් ඇමති ධූර 29ට සීමාවෙයි

20 December 2018

නව කැබිනට් මණ්ඩලය අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. අද දිනයේ කැබිනට් අමාත්‍යවරුන් 29දෙනෙකු මෙලෙස දිවරුම් දී තිබෙනවා. පසුගිය ආණ්ඩුව පැවැති සමය කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 44දෙනෙකු අමාත්‍ය ධූර දරනු ලැබුවා. ඉන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 32දෙනෙකු විසින් කැබිනට් අමාත්‍ය ධූර දරනු ලැබූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කැබිනට් අමාත්‍ය ධූර 11ක් හිමිවුණා. එවකට පැවැති රජයේ කැබිනට් අමාත්‍ය ධූර දැරූ ඩී.එම්. ස්වමිනාදන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට මෙවර කිසිදු කැබිනට් අමාත්‍යධූරයක් නොලැබීම විශේෂ සිදුවීමක්. ඩී.එම්. ස්වාමිනාදන් මීට පෙර නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන කටයුතු, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරනු ලැබුවා. නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන කටයුතු සහ උතුරු සංවර්ධන යන අමාත්‍ය ධූරවල අද දිනයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන්නා. මේ අතර පසුගිය රජය සමයේ කැබිනට් අමාත්‍ය ධූර දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන විජයදාස රාජපක්ෂ සහ එස්.බී. නාවින්න යන මහත්වරුන් ඒකාබද්ධ විපක්ෂය සමග එක්වුණා.
 

More News..