brand logo

එක්නැලිගොඩ පැහැර ගෙන යාම පිළිබඳ නඩුව පෙබරවාරි 6 වනදාට කල් යයි

20 January 2020

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට චෝදනා කරමින් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබෙන ඇතැම් ලේඛන උත්පාදනය කළ පරිගණක පද්ධති පරික්ෂා කිරීම සඳහා විත්තියේ නීතිඥවරුන්ට අවසර ලබාදෙන ලෙස කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අද (20) නියෝග කළේය. මෙම නඩුව අද සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ ගිහාන් කුලතුංග යන මහාධිකරණ විනිසුරුවරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය. එහිදී මෙම නඩුවේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන ලේඛන වලින් සමහරක් පැමිණිල්ල විසින් විත්තියේ නීතිඥවරුන් වෙත ලබාදීම සිදුකෙරිණි. ඉන් අනතුරුව මෙම නඩුවේ සාක්ෂි ලෙස පරිගණක මගින් උත්පාදනය කළ ලේඛන ඇතුළත්ව තිබෙන බවත් සාක්ෂි ආඥා පනතේ විධි විධානයන්ට අනුව එම ලේඛන උත්පාදනය කළ පරිගණක පද්ධති පරික්ෂා කිරීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙස විත්තියේ නීතිඥවරු විසින් ඉල්ලා සිටින ලදී. එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නඩුවේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබෙන ඇතැම් ලේඛන උත්පාදනය කළ පරිගණක පද්ධති පරික්ෂා කිරීම සඳහා විත්තියේ නීතිඥවරුන්ට පහසුකම් සලසා දෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතාට දැනුම් දුන්හ. ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නඩුව නැවත පෙබරවාරි මස 6 වනදා කැඳවීමට නියම කළ අතර එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස දෙපාර්ශවයේ නීතිඥවරුන්ට නියම කරනු ලැබුවේය. එම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ඩබ්ලිව්. ඩී. උපසේන (සුරේෂ්), ආර්. එම්. පී. කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (රංජි) ,චමින්ද කුමාර අබේරත්න කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකු නම් කර තිබේ.. 2010 වසරේ ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ. (අධිකරණ වාර්තාකරු)
 

More News..