brand logo

එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි විභාගය මාර්තු 11 වනදා සිට

20 February 2020

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණ දෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න ඇතුළු යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය මාර්තු මස 11 වන දා ආරම්භ කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අද (20) නියෝග කළේය. මෙම නඩුව අද සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවන ලදී. එහිදී අදාළ නඩුවේ සාක්ෂි විභාගය මාර්තු මස 11 වන දා ආරම්භ කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කළේය. මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි සාක්ෂි කරුවන් ලෙස නම් කර සිටින අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුලු සාක්ෂිකරුවන් දෙදෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියහ. ඔවුන්ට මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අවවාද කෙරිණි. එම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ඩබ්ලිව්. ඩී. උපසේන (සුරේෂ්), ආර්. එම්. පී. කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (රංජි) ,චමින්ද කුමාර අබේරත්න කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකු නම් කර තිබේ.. 2010 වසරේ ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ. (අධිකරණ වාර්තාකරු )
 

More News..