brand logo

එක්නැලිගොඩ නඩුවේ චෝදනා ලබා සිටි යුද හමුදා බුද්ධි නිලධාරීන් පෙර ඇප මත මුදාහරී

27 November 2019

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ අරමුණෙන් අයුතු ලෙස සිර කර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් නව දෙනෙකුට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් පෙර ඇප මත මුදාහැරීමටත් ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටත් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අද (27) නියෝග කළේය. මෙම නඩුව අද සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදී නීතිපතිවරයා විසින් ගොනුකළ අධිචෝදනා පත්‍ර විත්තිකරුවන්ට භාරදීම සිදු කෙරුුුණි. පසුව විත්තිකරුවන් සියලු දෙනා අවිස්සාවේල්ල මහාධිකරණය ලබාදී ඇති පෙර ඇප මත මුදාහැරීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට නියම කළහ. ඔවුන්ට විදේශ ගමන් බලපත්‍ර තිබේනම් ඒවා සතියක් තුළ අධිකරණය වෙත භාරදිය යුතු යැයි ද තවත් නියෝගයක් නිකුත් කෙරුණි. විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියම කරනු ලැබුවේය. අනතුරුව නඩුව දෙසැම්බර් මස 18 වනදා කැඳවීමට ද නියම විිය. එම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ඩබ්ලිව්. ඩී. උපසේන (සුරේෂ්), ආර්. එම්. පී. කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (රංජි) ,චමින්ද කුමාර අබේරත්න කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකු නම් කර තිබේ.. 2010 වසරේ ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ. මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් ජේෂ්ඨ රජයේ නීතිඥ සුදර්ශන ද සිල්වා මහතා සමඟ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා පෙනී සිටියේය. විත්තිකරුවන් වෙනුවෙන් අනිල් සිල්වා, අනුජ ප්‍රේමරත්න, අනුර මැද්දේගොඩ යන ජනාධිපති නීතිඥවරු සමග තවත් නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ. අධිකරණ වාර්තාකරු
 

More News..