brand logo

“#එකටසිටිමු” ජාතික ව්‍යාපෘතිය ජනපති ප‍්‍රධානත්වයෙන්

13 February 2019

“එක්ව සිතන්න, එක්ව හැදෙන්න” තේමාව යටතේ 71 වැනි ජාතික දින සැමරුමට සමගාමී ව දියත් කෙරුණු “#එකටසිටිමු” ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උලෙළ සහ සංස්කෘතික ප‍්‍රසංගය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ‌ඊයේ (12) පස්වරුවේ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිට දී විචිත‍්‍රවත් අයුරින් පැවැත්විණි. මේ මොහොතේ රටක් ලෙස ඉදිරියට යාමට නම් සියලූ භේද අත හැර එක්ව කි‍්‍රයාකළයුතු බව තරයේ විශ්වාස කරමින්, රට වෙනුවෙන් “#එකටසිටිමු” කි‍්‍රයාන්විතය බල ගන්වා තිබෙන අතර ඉදිරියේ දී සියලූ දේශමාමක බලවේග එකට එක් කර ගනිමින් රටේ උන්නතිය උදෙසාම කටයුතු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාව එක්ව මෙම වැඩසටහන සංවිධානය කරයි. ඉතාමත් අලංකාරවත් සංස්කෘතික දැක්මකින් මෙම සමාරම්භක අවස්ථාව වර්ණවත් වූ අතර, යුද හමුදා තුර්ය වාදන, ආබාධිත රණවිරු දස්කම් ඇතුළු විවිධ සංස්කෘතික අංග රැසක් ඊට එක් කර තිබුණි. එකට එක්ව යන ගමනට සියලූ ශ‍්‍රී ලාංකිකයන් එක්සත්ව එක්සිත්ව එක්වන බව සපථ කරමින් “#එකටසිටිමු” සංදේශය මෙහිදී රටට කීර්තියක් අත්කර දුන් ප‍්‍රවීන මෝටර් රථ ධාවන ශූරි ඩිලන්ත මාලගමුව මහතා ඇතුළු පිරිස විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. “#එකටසිටිමු” කි‍්‍රයාන්විතය දියත් කිරීමේ තාක්ෂණික උපකරණ ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම සිදු වූයේ යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා අතිනි.      
 

More News..