brand logo

එංගලන්ත පිල එනතුරු ගාල්ලේ දස මසක් බලා සිටි ලුවිස්ව පන්නයි

15 January 2021

එංගලන්ත ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවට පැමිණීම අපේක්ෂාවෙන් මාස 10ක කාලයක් මෙරට අඛණ්ඩව රැඳී සිටි ඉංග්‍රීසි ජාතිකයකු දෙරට අතර ආරම්භ වූ පළමු තරගය නැරඹීම පිණිස ගාලු කොටු පව්ර මත නැගී සිටියදී පොලිසිය විසින් ඔහුව ඉවත්කිරීමේ සිද්ධියක් ඊයේ ‘අරුණ’ට වාර්තා විය. එංගලන්තයේ සන්බරි-ඔන්-තේම්ස් Sunbury-on-Thames නම් නගරයේ වෙබ් නිර්මාණකරුවෙකු (Web Designer) වන රොබ් ලුවිස් නමැති මොහු උද්ගත වයිරස තත්ත්වය හමුවේ ඉකුත් මාර්තු මාසයේ අතරමැද අතහැර දැමූ එංගලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය නැරඹීම සඳහා එංගලන්ත ක්‍රිකට් ලෝලීන්ගෙන් සැදුම්ලත් ‘බාමි ආමි’ කණ්ඩායම සමගින් මෙරටට පැමිණ තිබිණි. එතැන් පටන් නැවතත් සිය රටට නොගොස් එංගලන්ත කණ්ඩායම ටෙස්ට් සංචාරය සඳහා නැවතත් ලංකාවට පැමිණෙන තෙක් ඔහු මෙරට රැඳී සිට ඇති අතර මාස 10 ඇවෑමෙන් ඔහු විසින් එම මොහොත උදාකරගත් සැනින් මෙම සිදුවීමට මුහුණපෑමට සිදුව ඇත. කොවිඩ් ආරක්ෂණ ක්‍රමවේදය යටතේ ක්‍රීඩාංගණයට ප්‍රේක්ෂකයන් කැඳවීමෙන් තොරව පැවැත්වෙන මෙම තරගයේදී එංගලන්ත කණ්ඩායමට සහය දක්වමින් ලුවිස් විසින් ගාලු කොටුවේ බැනර 3ක් ද ප්‍රදර්ශනය කර තිබිණි. පළමුවෙන් එම බැනර ඉවත් කිරීමට කටයුතු කළ පොලිසිය පසුව ඔහුව ද රැඳී සිටි ස්ථානයෙන් ඉවත් කරන්නට කටයුතු කර තිබේ. මෙම සිදුවීම විදෙස් මාධ්‍ය රැසක් හෙළා දැක තිබුණු අතර මේ සම්බන්ධයෙන් ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වීරසිංහ ගෙන් ‘අරුණ’ කළ විමසීමකදී ‘ඔව් අපි එම විදේශිකයාව ඉවත් කළා. සෞඛ්‍ය හේතුන් මත ක්‍රිකට් ආයතනයෙන් කරලා තිබුණු දැනුම්දීමක් අනුව තමා අපි එයාව ඉවත් කළේ. මොකද ඔහුව අනුගමනය කරමින් තවත් පිරිස එම ස්ථානයට රැස් වෙන්න ගත්තොත් එතන අවදානමක් ඇතිවෙන්න පුළුවන්. නමුත් ක්‍රිකට් ආයතනයේ ලිඛිත අවසරයකින් එම ප්‍රේක්ෂකයාට අවසරයක් දීලා තිබුණ නම් අපිට ඒ ගැන සලකා බලන්න පුළුවන්’ යැයි පැවසුවේය. මෙම විදේශිකයා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර්ගෙන්ද ‘මිකී ආතර්ට මාව කණ්ඩායමේ වතුර ගෙනයන්නා බවට පත්කළ හැකියි. එයින් මට තවත් තරගයට ලං විය හැකියි’ යනුවෙන්ද ඉල්ලීමක් කර තිබිණි. 37 හැවිරිදි රොබ් ගාල්ල ප්‍රදේශයේ හිරිකැටිය වෙරළ අසල නේවාසිකාගාරයක නැවතී සිටි බවට වාර්තා වේ. කෙසේ නමුත් ඊයේ පස්වරුව වන විට ඔහු පරිසරය පිරිසිදු කිරීමේ ස්වේච්ඡා සේවකයකු ලෙසින් සැරසී නැවතත් කොටු පවුර මතට පැමිණ තිබිණි. චතුර රණසිංහ
 

More News..