brand logo

එංගලන්ත පිල ආපසු හැරීයෑමෙන් ඒ හැටි පාඩුවක් නැහැ - ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති

16 March 2020

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් තරගාවලිය අවසන් මොහොතේ අවංලගු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සැලකිය යුතු පාඩුවක් සිදු නොවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය. තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙරහුරුවක් ලෙසින් පැවති සිව්දින තරගයේ තුන්වන දිනයේ තේ පානයෙන් අනතුරුව එංගලන්ත කණ්ඩායම විසින් සංචාරය අතරමග නවතා දමා යළි සියරට බලා පිටත් විය. මෙම තරගාවලිය මේ අයුරින් අවලංගු වීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවූ අලාභය සහ ඉදිරි ක්‍රීඩා කාලසටහන සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ සභාපතිගෙන් ‘අරුණ‘ කළ විමසීමේදී එයට පිළිතුරු දෙමින් ‘ඇත්තටම හෝටල්වල කාමර වෙන් කළ දේ වගේ වියදම් ඇරෙන්න අපිට එහෙම සැලකිය යුතු පාඩුවක් නෑ. කොහොමත් මෙම තත්ත්වය යහපත් අතට හැරුණු පසුව මේ වසර තුළ මෙම තරගාවලිය පැවැත්වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මේ තරගාවලියෙන් ලැබිය යුතු ප්‍රතිලාභ ප්‍රමාද වී හෝ ලැබේවී’ යැයි පැවසීය. වසරේ ඉදිරි ජාත්‍යන්තර ක්‍රිකට් තරග කාලසටහනත් සමග අදාළ තරගාවලිය මේ වසරේදීම නැවත පැවැත්වීමට ගැළපෙන කාල අවකාශයක් හිමිවේදැයි ‘අරුණ’ ඇසූ පැනයට පිළිතුරු වශයෙන් ‘මේ වෙනකොට ලෝකේ අනිත් තරගාවලිත් අතරමග නවත්තලා තියෙන්නේ. ඒ තරගාවලි වල කාලසටහනත්, අපේ ඉදිරි කාලසටහනටත් බලපෑමක් නොවෙන්න අපි ඒ තරගාවලි යොදා ගන්නවා‘ යැයි සභාපතිවරයා පවසන ලදී. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංචිතයේ පුහුණුවීම් සතියක කාලයකට විවේක ගන්වා ඇති අතර ඉන් අනතුරුව එම පුහුණුවීම් නැවත ආරම්භ කරන බවද ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා වැඩිදුරටත් අදහස් දැක්වීය. චතුර රණසිංහ
 

More News..