brand logo

උ.පෙළ සිසුන්ට ටැබ් දෙන්න පුළුවන් පස් වසරකට වරක් පමණයි - මුදල් අමාත්‍යාංශය

18 August 2019

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමට මුදල් වෙන් කළ හැක්කේ පස් වසරකට වරක් පමණක් බවට මුදල් අමාත්‍යාංශය ගෙන ඇති තීරණය වෙනස් කරන ලෙස ඉල්ලා අධ්‍යාපන අමාත්‍යාංශය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත. පළමු වටයේදී සියලුම ජාතික පාසල්වල සිසුන්ට හා ගුරුවරුන්ට පමණක් ටැබ් පරිගණක අනූහත් දහසක් බෙදාහැරෙන අතර එම ටැබ් පාවිච්චි කළ හැකි උපරිම කාලය දෙවසරක් බව අධ්‍යාපන අමාත්‍යාංශය පත් කළ කමිටුවක් නිර්දේශ කර තිබේ. එහෙයින් අවම වශයෙන් දෙවසරකට වරක් මුදල් අවශ්‍ය වන බව අමාත්‍යාංශය පවසයි. කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ මේ බව සඳහන් කරමිනි. ටැබ් පරිගණක මිලදී ගැනීම සඳහා රුපියල් දස ලක්ෂ හාරදහසක් වෙන්කර ඇති අතර ඉන් ටැබ් සඳහා වැය වන මුදල රුපියල් දස ලක්ෂ දෙදහස් හත්සීයක් වෙයි. මෙම ටැබ් නිවෙස්වලට රැගෙන යාමට සිසුන්ට අවසර නොලැබෙන අතර ඒවා පාසලේදීම ආරෝපණය (Charge) කිරීම සඳහා ආරෝපණ උපකරණ පාසල්වලට ලබාදීමටද අමාත්‍යාංශය සැලසුම් කර ඇත. එම උපකරණ මිලදී ගැනීමට සහ ටැබ්වලට අන්තර්ජාල පහසුකම් ලබාදීම සඳහා ඉතිරි රුපියල් දස ලක්ෂ එක්දහස් තුන්සීය වැය කිරීමට නියමිතය. ටැබ්වලට උසස් පෙළ විෂය කරුණු අන්තර්ගත කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යාංශය පවසයි. නිලන්ත මදුරාවල
 

More News..