brand logo

උස් මිටි පුටු තියන දළදාව යට සැඟවූ කුල යගදාව

01 April 2019

ථෙරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළේ කොටසක් හැටියට ත්‍රිපිටකාභිවන්දනා යනුවෙන් විශේෂ ආගමික උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් මහනුවර දී පැවැත්වුණේය. මේ උත්සවයේ සුවිශේෂී අරාධිතයන් වූයේ නිකායවල් දුසිම් තුනකට පමණ බෙදී සිටින සිංහල මහා සංඝයේ ප්‍රධාන නායක කාරකාදීන් සේ පිළිගැනෙන සියම් නිකායේ මල්වතු අස්ගිරි පාර්ශ්ව දෙකේ නායකයන්, අමරපුර මහ නිකායේ නායකයන් හා රාමඤ්ඤ නිකායේ නායකයන්ය. නමුත් මේ උත්සවයේදී බලවත් මහජන අවධානයක් යොමු වුණේ ත්‍රිපිටක වන්දනාවට නොව නායක භික්ෂූන්ට ආසන පනවා තිබූ ආකාරය ගැනය. මෙහිදී සියම් නිකායේ මල්වතු හා අස්ගිරි නායකයන් දෙදෙනාට උස් අසුන් මෙන්ම පා අසුන්ද පනවා තිබූ අතරේ සෙසු නිකාය දෙකේ නායකයන්ට පනවා තිබුණේ මිටි අසුන්ය. මේ උස්මිටි අසුන් පැනවීම පැරණි සිංහල බෞද්ධ ප්‍රභූ නිවසට පැමිණෙන අමුත්තන්ට කුලය අනුව අසුන් පැනවීමට සමාන ආකාරයක් ගත්තේය. ලංකාවේ සෑම පන්සලකදීම උස් පුටු පැවිද්දන්ටය. කොට පුටු ගිහියන්ටය. කුලය මත වෙනස් වූ වෙනත් නිකායක භික්ෂුවක් පන්සලකට පැමිණියත් දෙන්නේ සමාන අසුන්ය. මේ තත්ත්වය මෙවර මහනුවරදී වෙනස් වූයේ ඇයි? උස් පුටු, මිටි පුටු තැබීම පසුගිය සියවසේ අගභාගය තෙක්ම වෙරළබඩ පළාත්වල තිබුණේය. සේවා කුලවලින් පැවතෙන ජනයා කුලවත් නිවසකට යන විට විට ජටා, හිස්වැසුම් ගලවා නිවසේ කුස්සිය පැත්තෙන් හෝ ගෙයි පිටුපස දොරටුවකින් අැතුළු වී මිටි බංකු, මිටි පුටුවල වාඩිවීමට සිදු වුණේය. ඔවුන්ට අහාර දීමටද, තේ පැන් දීමට, වෙනම කෝප්ප පිඟන් වෙන් කෙරුණේය. පාතරට දී ධනවත් හා තනතුරු ඇත්තෝ සම කුල දිළින්දන්ටද මේ වෙන්කර සැලකීම හෝ පහත් කොට සැලකීම කිසිදු හිරිකිතයකින් තොරව ක්‍රියාවට නැගූහ. උඩරටදී කෑගලු හා කුරුණෑගල දිස්ත්‍රික්කවලදී හැර මේ කුල වෙනස්කම්වලට අභියෝග කිරීමට ක්‍රමයක් දේශපාලන හෝ සමාජමය වශයෙන් පැන නැගුණේ නැත. මල්වතු අස්ගිරි නායකයන්ට උස් පුටු හා පා පුටු සපයමින් සෙසු නිකායවල නායකයන්ට මිටි පුටු තබමින් මහනුවරින් මතු වූයේ ඒ උඩරට සැඟවී පවතින කුල අයිස්බර්ගයේ තුඩය.’ පසුගිය අවුරුද්දේ මේ වාගේම කාලයක 1818 ඌව වෙල්ලස්ස නිදහස් සටනට නායකත්වය දී ඉංගිරිසි ආණ්ඩුවේ රාජද්‍රෝහීන් හැටියට දඬුවම් ලැබූ නායකයන් වසර 200 කට පසු දේශප්‍රේමීන් හැටියට නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙන මහනුවර මඟුල්මඩුවේ පැවැත්වෙන උත්සවයට සිරිසේන ජනාධිපතිවරයා උඩරට ගොවි කුලයට සීමා වූ සියම් නිකායේ මල්වතු අස්ගිරි පට්ටි දෙකේ නායකයන්ට පමණක් නොව රටේ සෙසු ප්‍රධාන නිකායන් වන අමරපුර හා රාමඤ්ඤ නිකාය දෙකේ නායකයන්ට ද ඇරයුම් කළේය. රටේ විධායක ජනාධිපතිවරයා හැටියට ඔහු වැදගත් ජාතික උත්සවයකදී එසේ කළ යුතුව තිබුණේය. නමුත් සෙසු නිකාය දෙකේ මහනායකයන්ට මහනුවර මඟුල්මඩුවට ඇතුළු වීමට මල්වත්තේ හා අස්ගිරියේ නායකයන් ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා දැන ගත්තේ අවසාන මොහොතේය. ඔහු පුද්ගලිකවම අමරපුර හා රාමඤ්ඤ නිකාය දෙකේ නායකයන්ගෙන් සිදු වූ වැරැද්දට සමාව භජනය කර ඔවුන් පෙරළා කොළඹට පටවා සිදුවූ කුල අවුල ලිහා ජාම බේරා ගෙන මහනුවර නායකයන් සමග ද්‍රෝහීන් වීරයන් කළේය. මල්වතු අස්ගිරි කුල නායකයන් රටේ බහුතර ජන්දයෙන් පත් වූ ජන නායකයන්ට තමන්ගේ කුල හයිකාරකම් පෙන්නු මුල් අවස්ථාව මෙය නොවේ. 1988 රණසිංහ ප්‍රේමදාස ජනාධිපති වූ විට ඔහුට පත්තිරිප්පුවේ දිවුරුම් දීමට එවකට සිටි මල්වතු අස්ගිරි කුල නායකයන් එකඟ වූවත් එයට ජනාධිපතිවරයාගේ බිරිඳට පැමිණීමට ඉඩ දිය නොහැකි බව කියා සිටියහ. ප්‍රේමදාස ජනාධිපතිවරයා මෙහිදී දළදාව ගෙනාවේ ගැහැනියකගේ කොණ්ඩය ඇතුළේ නොවේදැයි තර්ක කරනු වෙනුවට කළේ රටේ නායකයා හැටියට තමාට අවශ්‍ය නම් දළදාව කොළඹට ගෙන ඒමට බලය තිබෙන බවට තර්ජනය කිරීමය. මහනුවර කුල නායකයෝ අහුන්ගල්ලේ සලාගම කුලයේ හින්න වංශිකයා ඉදිරියේ දණගැසූහ. හේමා ප්‍රේමදාස සැමියාගේ දිවුරුමට පත්තිරිප්පුවට නැග්ගාය. සටන එතැනින් නතර වුණේ නැත. තදින් බොදු වත්පිළිවෙත් හි යෙදෙන ජනාධිපති ප්‍රේමදාස දළදාවට තැනූ රන් වියනද හෑල්ලුවට ලක් කරමින් කතා කළහ. ඒ කාලයේ පත්තිරිප්පුවට උඩින් ඉස්තිරික්කයේය. නුවර ප්‍රභූහු නුවර නගරයේ කැලෑ පත්තරයක් බෙදූහ. මීට පෙර මහනුවර මල්වතු අස්ගිරි කුල නායකයන් කොළඹ පාලනයට අභියෝග කළ තවත් අවස්ථාවක් වන්නේ 1969 දී පමණ ඩඩ්ලි සේනානායක ආණ්ඩුව මහනුවර මහ දිසාපති තනතුරට බී. ජේ. ප්‍රනාන්දු නම් එකල ප්‍රකට පරිපාලන නිලධාරියා පත් කිරීමය. හේන වංශයට අයත් ජේ. නුවර දිසාපති තනතුරට පත්කළ සැනෙන් උඩරට කුල කඩි ගුල ඇවිස්සුනේය. ඩඩ්ලිට දේශපාලන තර්ජනද, කුල තර්ජනද පැමිණියේය. ඔහු වහාම බී.ජේ. ගේ පත්වීම අවලංගු කළේය.’ 1815 උඩරට රාජධානිය ඉංග්‍රීසීන්ට යටත් වූ තැන් පටන් සුද්දන්ගේ කුලමල නොසොයාම ඔවුන්ට යටත් පහත් වූ උඩරට ආගමික කුල නායකයෝ හැකි සෑම තැනකදීම සෙසු කුලවලට වෙනස්කම් කිරීමේදී දෙවැනි වූයේ ඉන්දීය බමුණු කුලයට පමණි. පසුගිය සියවසේ මුල් දශකයේ දී මහනුවර නගරයෙන් මතුවූ කීර්තිමත් ජාතික නායකයෙක් වූ ජෝර්ජ් ඊ ද සිල්වා නීතීඥයෙක් හැටියට මහනුවර උසාවියට පැමිණි මුල්ම දවසේ ජෝර්ජ්ගේ කුලය නිසා ඔහු සමග සම අසුන් ගැනීමට නොහැකි බව කියමින් සෙසු නීතීඥයන් ලවා මේ කුල නායකයෝ උසාවිය වර්ජනය කරවූහ. ජෝර්ජ් ජාතික නායකයෙක් හැටියට සේවය කර මිය ගියපසු ඔහු වෙනුවෙන් මහනුවර නගරයේ මැද ඉදි කෙරුණු ප්‍රතිමාව, කුලය නියෝජනය කරන බවට තවමත් උපහාසයෙන් කියති. මේ කුල අපහාසය ඔවුන් කරන්නේ ප්‍රතිමාවේ දකුණු අත සේදු රෙදිවලට නිල් දමමින් සිටින බව කියමිනි. දැන් සියම් නිකායේ කුලවාදය කිසිදු හිරිකිතයකින් තොරව එළියට වඩම්මවා ප්‍රදර්ශනය කෙරෙන්නේය. ඒ ලේසිපාසු තැනකදී නොවේ. ගෞතම බුදුන්ගේ සුවාසුදහසක් ධර්මස්කන්ධය එක් තැන් කර ඇති ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට සුදානම් කෙරෙන ත්‍රිපිටකාභිවන්දන උත්සවයේදීය. ඒ මහතාණන්ගේ මහා ධර්මස්කන්ධය ඇසූ බවට විශ්වාස කෙරෙන දළදාවේ හෙවත් දන්ත ධාතුව තැන්පත් කර ඇති මාළිගයේ සෙවණැල්ලේදීය. සිංහල සඟ සසුනේ කුලවාදයේ මෑත ඉතිහාසය, දඹදෙණි රාජධානිය දක්වා දිවෙන්නේය. දඹදෙණි කතිකාවත අනුව පැවිදි කිරීමට පෙර කුල විචාරීම කළ යුතුය. නමුත් එම කතිකාවත අසුවල් අසුවල් කුලයන්ට පමණක් පැවිද හා උපසම්පදාව දිය යුතුයැයි නියම කර නැත.’ නමුත් මහනුවර යුගයේ කිත්සිරි රාජසිංහ රජු දවස පැනවුණු නියෝගයක් අනුව උඩරට සියම් නිකාය පැවිදි කරන්නේත් උපසම්පදාව දෙන්නේත් ගොවි කුලයට පමණි. එයිනුත් සියම් නිකායේ මල්වතු හා අස්ගිරි විහාරවල කාරක සංඝ සභාවේ පටන් නායකත්වයට පත්විය හැක්කේ උඩරට ගොවි කුලයෙන් පැවිදිවූවන්ට පමණි. විශේෂයෙන්ම මේ සියම් නිකායේ උපසම්පදාව දීමට පෙර පරම්පරා හතක් කුල පාරිශුද්ධිය විචාරණ බවට චෝදනා නැඟේ. මේ කුලවාදි ප්‍රතිපත්ති ගැන නැඟෙන චෝදනාවලට සියම් නිකායේ කිසිම නායකයෙක් පිළිතුරු දෙන්නේවත්, ඒවා ප්‍රතික්ෂේප කරන්නේවත් නැත.’ පලිපාන චන්දානන්ද නම් නායක භික්ෂුව සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ මහ නායක තනතුර දරද්දී දකුණු ඉන්දියානු තෙලිඟු හින්දු රජතුමෙක් වූ කිත්සිරි හෙවත් කීර්ති රාජසිංහගේ නියෝගයක් බුදුන්ගේ නියෝගවලට ඉහළින් තබන්නේ මන්දැයි වරක් මේ ලියුම්කරු ප්‍රශ්න කළ විට, ‘උඹ කවුද අපෙන් ප්‍රශ්න අහන්න එන්නේ’ යැයි මහනායකවරයා අපෙන් ප්‍රශ්න කර සිටියේය. දළදාව තැන්පත් කළ විහාරයේත්, එයට සම්බන්ධ සෙසු විහාරවලත් උඩරට ගොවි කුලයෙන් පිටස්තර නමක් සටහන් කිරීමටවත් නොදෙන ඔවුහු රන්වියන තැනු ජනාධිපති ප්‍රේමදාසගේ පූජාව සටහන් සිහිවටන ඵලකය ඉවත් කිරීමට තරම් සාහසික වූහ. අඩුම තරමින් මියගිය රාජා ඇතාගේ සිරුර සංරක්ෂණය කළ නිර්මාණකරුගේ නමවත් එහි නොතිබෙන්නට කඩා දැමූහ. උඩරට සියම් නිකායේ මේ කෲර කුලවාදයේ ස්වභාවය මීට වසර 250 පෙර පැවැති ආකාරය තහවුරු කිරීමට 18 සියවස අගභාගයේ මාතර විසූ ප්‍රකට කවියෙක් වෙන මිහිරිපැන්නේ ධම්මරතන හිමියන් සෙසු කුලවලට උපසම්පදාව ඉල්ලා ලියූ කවිපෙළක කවි දෙකක් ඔබට ඉදිරිපත් කිරීමට මට අවසර දෙන්න. රිවිකුල කිරුලෙව් පින්වත් රජුන්ගේ මෙලක් දිව් බලුගැති කුලයේ දා වූ බුදුන්ගේ සසුන්වන් අපට සඟ වහන්සේලා වෙනස්කම් කිරීමෙන් නො දෙති උපසපන් ඉල්වා නොයෙක් මෝසමේ දී සසර දුක ගෙවා ගන්නා නිසා මේ බොහෝ වූ එබඳු උපසපන් සිල් දෙව්තුමාණන් විසින් දැන් අපට ලැබෙන මෙන් මෙත් සිත් පවත්වා වදාළොත් බුදු බව නො ලැබේදෝ ලොව්තුරා මොක් පුරේහි මිහිරිපැන්නේ හිමියෝ මේ කවි ලියා තුම්පනේ වැලිවිට සරණංකර සඟ රජුට ඉදිරිපත් කළේ මේ ගැන කිත්සිරි රජු සමග කතා කර සෙසු කුලවලට උපසම්පදාව ඉල්ලා ගැනීමටය. නමුත් ජනප්‍රවාදය අනුව සඟ රජු එම අවසරය අරන්දීමට තබා ඒ ගැන රජු සමග කතා කිරීමද එක හෙළාම ප්‍රතික්ෂේප කළේය. වාසනාවකට සිල්වත් සමාගම නමින් සරණංකර හිමි පිහිටුවා ගෙන තිබූ මුල් සංඝය කුලවාදී එකක් නොවූ නිසාත් එවකට උඩරට අඹුදරුවන් රකිමින් සිවුරු දරා සිටි ගනින්නාන්සේලාගේ සමාජයෙන් වෙන්වූ නිසාත්, සිටිනාමළුවේ හා ඉලුපැන්ගමුවේ බඳු පාතරට භික්ෂූන් සඟ රජුගේ ප්‍රධාන ගෝලයන් වී සිටියහ. මේ නිසා ලන්දේසීන් යටතේ තිබූ පහත රට පළාත්වල විනාශ වී ගිය විහාර නැවත ගොඩ නැගුණේය. නමුත් සඟ රජුට උඩරට භික්ෂූන් අතරේ තිබූ ග්‍රාමාවාසී හා වනවාසී බෙදීම අවසන් කිරීමටවත් උන්ගේ නෑයන්ටම සාංඝික බුදල් පැවරීමත් කුලවාදය අවසන් කිරීමටත් නතර කිරීමට නොහැකි වුණේය. කොටින්ම 1753 වෙද්දී නැවත පිහිටවුණු උපසම්පදාව 1800 වෙද්දීත් ගොවි කුලයෙන් පිටස්තර කිසිවෙකුටත් නොලැබුණේය. මාතර බෝවල ධම්මානන්ද හිමියන් කුලය නොසලකා පැවිදි කරගත් සලාගම කුලයට අයත් බලපිටියේ වැලිතර ඤාණවිමල හිමියන්ට ගුරුවරයා අයත් සියම් නිකායෙන් උපසම්පදාව නොලැබෙද්දී තමුන්ටම උපසම්පදාවක් තිබිය යුතු බව බලපිටිය සලාගම කුලයේ නායකයන්ට සිතෙන්නට ඇත. ඒ වනවිට කුරුඳු කර්මාන්තයේ මහබද්දේරාල තනතුර දිගු කලක් දරා සිටියේ බලපිටියේ සහබන්දු - රාජපක්ෂ පවුල් නිසා ඔවුන්ගේ ධනවත් කම ස්වකීය කුලයට උපසම්පදාව ගෙන ඒමට යෙදවීමට ආයෝජනය කෙරුණේය. මේ අනුව 1803 වෙද්දී අමරපුර නිකාය පිහිටුවා සියම් නිකායෙන් පිටස්තර උපසම්පදාවක් රට තුළ තහවුරු වුණේය. පසුව මෙය කරාව දුරාව බඳු වංශවලටත් ලැබී මේ සියල්ලෝම එකම මහා අමරපුර නිකායේ ශාඛා නිකායන් බවට පත්වූහ. 1856 දී පහතරට ගොවි කුලයේ භික්ෂූහු උඩරට ගොවිකුලයේ වෙනස්කම් ඉවසිය නොහැකි තැන කෝට්ටේ ශ්‍රී කල්‍යාණි නමින් සියම් නිකායේ වෙනම පහතරට නිකායක් පටන් ගත්හ. උපසම්පදාව ගන්නට ඕනෑ වු විට කරත්ත පිටින් මල්වතත්ට පූජා භාණ්ඩ ගෙන යාමට සිදු වීමත් එසේ ගියවිට පහත රට භික්ෂූන්ට කෙරෙන අවමන් සහගත සැලකිල්ලත් මෙසේ වෙන් වීමට හේතුවක් විණි. පසුව මේ පහතරට ගොවි කුලයේ තවත් ප්‍රාදේශීය කුල පාර්ශ්ව ගණනාවක් තනා ගත්හ. කුල භේදයෙන් තොරව ලංකාවේ සංඝයාට නිකායක් තනන්නට 1863 කල්පනා කළ මෑත යුගයේ සිටි එකම භික්ෂුව අඹගහවත්තේ සරණංකර හෙවත් ඉන්ද්‍රසහවර ඤාණසාමි නමින් ප්‍රකට රාමඤ්ඤ නිකායේ මූලාරම්භකයාණෝය. නමුත් පදු නිකාය නමින් සියම් නිකායෙන් ගැරහුම ලබන මේ නිකායේ පැවැත්ම තුළ මුල් ප්‍රාර්ථනා ඉටුවෙමින් තිබේද යන්න ගැටලු සහගතය. උඩරට ගොවි කුලයට අයත් සබරගමුවේ භික්ෂූහු සබරගමු ගොවි කුලයට 1836 දී සබරගමු අමරපුර සිරි සද්ධම්මවංශ නමින් නිකායක් පිහිටුවා ගත්හ 1844 වෙද්දී ගොවිකුල භික්ෂූහු උඩරට අමරපුර නිකාය නමින් තවත් නිකායක් පිහිටුවා ගත්හ. මේ වනවිට දුසිම් තුනකට නොඅඩු ලංකාවේ භික්ෂු නිකායන් සියල්ලම පිහිටුවා තිබෙන්නේ කුල හා ප්‍රාදේශීය කුලවල බෙදීම් අනුවය. ථෙරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන්නට රැස්වූ සැම භික්ෂුවක්ම තමන්ට මහනුවරදී කෙරුනු කුල වෙනස්කම් දරා සිටින්නට හා අමතක කිරීමට තීරණය කරන්නට ඇත්තේ තමන් තුළද කුල නියෝජනයක් තිබෙන බව හොඳින්ම දන්නා නිසාය. තවමත් ලංකාවේ භික්ෂු සමාජය තුළ රොඩී වංශය හා කින්නර වංශය නියෝජන නොකෙරෙන නිසා සෑම කුල භික්ෂුවකටම අනෙකා මෙන්ම අපිද කුලවතුන් යයි සිතමින් පැවතීමට අවස්ථාවක් ලැබී තිබෙන්නේය. නන්දන වීරරත්න
 

More News..