brand logo

උපාධිධාරීන්ට පත්වීම් නොලැබුණේ කැලණිය සරසවියේ වරදින් ?

18 September 2020

කැලණිය විශ්වවිද්‍යාලයේ අකාර්යක්ෂම වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර‍වේදී බාහිර උපාධිය සම්පූර්ණ කළ සිසු සිසුවියන් 2024 දෙනකුට උපාධිධාරී රැකියා පත්වීම් අහිමි වී තිබෙන බවට එම විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිධාරීන් චෝදනා කරති. 2019 මැයි 01 වැනිදා තම උපාධිය සම්පූර්ණ කළත් උපාධි සහතිකය අතට ලැබුණේ 2020 අගෝස්තු 24 වැනිදා බවත්, කැලණිය සරසවියේ මෙම ප්‍රමාදය නිසාවෙන්ම 2019දී ශාස්ත්‍රවේදී උපාධිය සම්පූර්ණ කළ 2024 දෙනකුට රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය සඳහා ඉදිරිපත් වීමට නොහැකි වූ බවත් කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු දෙනුවන් රාජපක්ෂ පැවසීය. 2019.05.01 දින ශාස්ත්‍රවේදී උපාධිය සම්පූර්ණ කළ අභ්‍යාසලාභී පත්වීම් නොලැබ අසාධාරණයට ලක්වූ කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරී සංගමය විසින් ඊයේ (17දා) මරදාන සී.එස්.ආර්. ශාලාවේදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය විය. ‘‘අපි අසාධාරණයට ලක්වූ කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ 2012/2013 බාහිර උපාධිධාරී කණ්ඩායම විශ්වවිද්‍යාලයේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය සිදුකරන ලද වගකීම් විරහිත අකාර්යක්ෂම ක්‍රියා කලාපය නිසා වසර තුනකින් අවසන් කළ යුතුව තිබූ උපාධිය සම්පූර්ණ කිරීමට අපට වසර 08ක් ගතවුණා. ඒ අනුව තමයි අපි 2019 මැයි මස පළමුවැනිදා ශාස්ත්‍ර​වේදී උපාධිය සම්පූර්ණ කරන්න වුණේ. ඒකට ප්‍රධානම හේතුව කැලණිය විශ්වවිද්‍යාලයේ පරිපාලනාධිකාරියේ සහ දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රයේ අකාර්යක්ෂමතාව. මේ ආකාරයෙන් උපාධිය සම්පූර්ණ කළ 2024 දෙනෙක් අද අසරණ වෙලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය රැකියා සඳහා බඳවා ගැනීම සඳහා මේ වසරේදී සිදුකළ සම්මුඛ පරීක්ෂණවලට අපට ඉදිරිපත් වන්නට බැරිවුණේ උපාධි සහතිකය නැතිවීම නිසයි. ඒත් මේ ලැයිස්තුවේ 120කගේ නම් හිතවත්කම් මැද සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරලා තියෙනවා’’ යැයිද ඔවුහු පැවසූහ. එෆ්. අස්ලම්
 

More News..