brand logo

උපාධිධාරීන්ට කොන්දේසි විරහිතව රැකියා ලබා දෙන්න- ජවිපෙ කියයි

18 February 2020

උපාධිධාරීන් වෙත කොන්දේසිවලින් තොරව රැකියා ලබාදීමට පියවර ගන්නැයි ජනතා විමුක්ති පෙරමුණ රජයෙන් ඉල්ලා සිටියි. එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක පැවැසුවේ කාරණා කිහිපයක් මත පදනම්ව තමන් මෙම ඉල්ලීම අගමැතිවරයා වෙත ලිඛිතව යොමු කළ බවයි. රැකියාවල නිරත වූ හා නිරතව සිටින උපාධිධාරීන් රාජ්‍ය අංශයට බඳවා නොගැනීමට වර්තමාන රජය තීරණය කර ඇතැයිද පෙන්වා දෙන බිමල් රත්නායක මන්ත්‍රිවරයා අවධාරණය කර සිටින්නේ එම තීරණය ඉතා අසාධාරණ බවයි. උපාධියෙන් පසුව පෞද්ගලික අවශ්‍යතාවන් සපුරා ගැනීම උදෙසා යම් රැකියාවක නිරතවීම, එම උපාධීධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී නුසුදුසුකමක් ලෙස නම් කර ඇතැයිද ඔහු පෙන්වා දෙයි. මේ අතර වසර ගණනාවක කැප කිරීමක ප්‍රතිපලයක් ලෙස උපාධියක් හිමකරගන්නා බුද්ධිමතුන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ දී වයස් සීමාවන් පැනවීම සම්බන්ධයෙන්ද බිමල් රත්නායක මන්ත්‍රිවරයා රජයෙන් ප්‍රශ්න කරයි. උගත් ප්‍රජාවක් රාජ්‍ය අභිවෘද්ධිය උදෙසා බඳවා ගැනීමේදී වයස් සීමා අදාල වන්නේ කෙසේද යන්නද බිමල් රත්නායක මන්ත්‍රිවරයා අගමැතිවරයාගෙන් විමසා තිබේ. එමෙන්ම ඔහු යෝජනා කර ඇත්තේ වයස අවුරුදු 60 ක් දක්වා රාජ්‍ය සේවයේ කටයුතු කළ හැකි බැවින්, උපාධීධාරීන් රජයේ රැකියා සඳහා බඳවා ගැනීමේදී වයස අවුරුදු 35 හෝ 45 ලෙස වයස් සීමාවන් පැනවීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. එමෙන්ම රාජ්‍ය සේවය සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩපිළිවෙල දේශපාලන වාසි වෙනුවෙන් යොදා නොගන්නා ලෙසද යොජනා කරන බිමල් රත්නායක රජයෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි තත්ත්වයන්ගෙන් මිදී රටේ අභිවෘද්ධිය සඳහා උපාධිධාරීන්ගේ දායකත්වය ලබා ගත හැකි වැඩපිළිවෙලක් සකස් කරන ලෙසයි. රැකියාවක නිරත වූ උපාධිධාරීයෙකුට තවත් රැකියාවකට අයදුම් කිරීමේ අවස්ථාව අහිමි කළ කිසිදු රටක් ලෝකයේ නොමැති බවද ඔහු පෙන්වා දෙයි. එය මානව අයිතීන් අමු අමුවේ උල්ලංගණය කිරීමක් බවද මන්ත්‍රිවරයා පෙන්වා දෙයි. ඇතැම් උපාධිධාරීන්ට වයස අවුරුදු 50 ඉක්මවුවද රැකියාවක් ලැබී නොමැති බවද එය ඔවුන්ගේ වරදක් නොව පැවැති හා පවතින රජයයන්වල වරදක් බවද මන්ත්‍රිවරයා පෙන්වා දෙන තවත් කාරණයකි. මෙම කාරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද කරුණු විමසීමට අපේක්‍ෂා කරන බව බිමල් රත්නායක මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවැසීය.   කුමාර එන්. අස්මඩල
 

More News..