brand logo

උපාධිධාරිනියක් වෙලත් රස්සාවක් නෑ

06 July 2021

අපට වඩාත් හුරු පුරුදු ටෙලි තරුවක් වන රුක්ෂානා රංගනයට විතරක් නෙවෙයි නර්තනයටත් දක්ෂ තරුණියක්. ඒ විතරක් නෙවෙයි රුක්ෂානා තමන්ගේම නර්තන කණ්ඩායමක අයිතිකාරියක් සහ සෞන්දර්ය උපාධිධාරිනියක්ද වනවා. මේ විදිහට නර්තනය පිළිබඳ කුමානාකාර සුදුසුකම් ලබා සිටියත් මෙගා ස්ටාර් වේදිකාවට නැග්ග සැනින්ම රුක්ෂානාට බැස යන්නට සිදුවනවා. ඇයගේ නර්තන දක්ෂතාව හඳුනාගෙන සිටි බොහෝ දෙනා ඇය මෙම නර්තන වේදිකාවේ සිටියා නම් කියා සිතුව මොහොතකයි රුක්ෂානාට සමුගන්නට සිදුවුණේ. ඒ ගැන ඇය අපට පැවසුව දෙයයි මේ..

මම තවම නවකයෙක් නිසා මට තියෙන අත්දැකීම් ප්‍රමාණය ගොඩක් අඩුයි

රුක්ෂානා මෙගා ස්ටාර් තරගයෙදි මොකද සිද්ධ වුණේ?

තරගයේ මම වට හතරයි ආවේ හතරවැනි වටයෙන් අපි අයින් වුණා. එතැන තියෙන තරගකාරීත්වය එක්ක මගේ තිබුණ තරගකාරීත්වය මදිවෙන්න ඇති. අපිට ශාස්ත්‍රීය පැත්තෙන් දැනුම තිබ්බට එකේ තියෙන්නෙ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමක් කරන්න. මම තවම නවකයෙක් නිසා මට තියෙන අත්දැකීම් ප්‍රමාණය ගොඩක් අඩුයි.

තරගයේදි රුක්ෂානාට කාගෙන්ද වැඩිම අභියෝගය එල්ල වුණේ..

මේක දෙන්නෙක් එක්ක කරන ඇක්ට් එකක් නිසා පෞද්ගලිකවයි නර්තනය ඉදිරිපත් කරන්නෙ. සමහර වෙලාවට අපි දන්නෙත් නැහැ අපේ කණ්ඩායමේ අනිත් අය මොනවද ඉදිරිපත් කරන්නෙ කියලා. තරගය ඇතුළෙදි අපි සහයෝයෙන් වැඩ කළා. අපේ කණ්ඩායම ගත්තොත් මම තමයි ළාබාලම කෙනා. නිරෝෂා තලගල අක්කා, උපේක්ෂා ස්වර්ණමාලි අක්කා වගේ ක්ෂේත්‍රය් අත්දැකීම් තියෙන අය එතැන හිටියෙ. එයාලා නිතරම මාව අගය කළා. අපි තරගයෙන් පළවෙනියා වෙයිද, අපි වට කීයක් යයිද කියන එකට වඩා සහභාගීත්වයට ලැබුණ දිරිගැන්වීම්, ඇගයීම්, අත්දැකීම් තමයි වටින්නෙ.

කොළඹ දිස්ත්‍රික්කයේ උපාධිධාරීන්ට දැන්ම පත්වීම් දෙන පාටක් පෙනෙන මානයකවත් නැහැ.

රුක්ෂානා කලාව හැරයන්නද අදහස?

පොඩි කාලෙ ඉඳන් ගුරුවරියක් වෙන්න තමයි මගේ බලාපොරොත්තුව තිබුණේ. මම විශ්වවිද්‍යාලයට ගිහින් අධ්‍යාපනය ලබන්නෙත් ඒ අරමුණ උදෙසායි. උපාධිය සම්පූර්ණ කරලා කාලයක් ගතවුණා. නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ උපාධිධාරීන්ට දැන්ම පත්වීම් දෙන පාටක් පෙනෙන මානයකවත් නැහැ.

විවාහයත් කල් දාන්නෙත් මේ ප්‍රශ්න නිසාද...

විවාහ වෙන්න ඕන. ඒකට අපේ ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕන. මම කියන්නෙ නැහැ මහ ලොකුවට සල්ලි හම්බකරගෙන විවාහ වෙන්න මම බලාගෙන ඉන්නවා කියලා. ඒත් අඩුම තරමින් ස්ථිර රැකියාවක්වත් තියෙන්න ඕනනෙ. කලා ක්ෂේත්‍රයෙ වැඩ කටයුතු කියන එක තාවකාලිකයි. ඒක දැනටමත් ඔප්පු වෙලා තියෙනවා. රංගනයට ආපු මුල් කාලෙදි එක දිගට වැඩ ලැබෙද්දි නම් මාත් හිතුවා මේකෙන් ජීවිතයට ස්ථාවර පදනමක් දාගන්න වැඩ ටිකක් කරගන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඇත්තටම එහෙම බැහැ.

ඔබේ පෙම්වතාගේ වෘත්තියත් කලාවද?

ඔව්, එයත් රංගන ක්ෂේත්‍රයේම කෙනෙක් තමයි.

මම විවාහ වුණාට පස්සෙ මගේ ස්වාමියා තමයි මගේ ජීවිතයේ පළවෙනි දේ වෙන්න ඕන.

කලා ලෝකයේ පෙම්වතුන් විවාහ වෙලා ඉක්මනටම වෙන් වෙද්දි කලාවෙන්ම පෙම්වතෙක් තොරගනිද්දි දෙපාරක් හිතන්න හිතුණෙ නැද්ද?

ඔය දේවල් නම් කලා ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි හැමතැනම වෙනවා. ඒකට හේතුව තමයි අපේ මිනිස්සුන්ට කිසිම හික්මීමක් ඉවසීමක් නැති එක. ක්ෂණික තීරණ ගන්නවා. අපේ ජීවිතයේ ලැබෙන දේවල් හැමදාම ලැබෙන්නෙ නැහැනෙ. ගොඩක් අය ජීවත් වෙන්නෙ හැමදේම හැමදාම තියෙනවා කියලා හිතාගෙනයි. ඒත් ඒක එහෙම නැහැනෙ. හැම දෙයක් දිහාම මධ්‍යම ප්‍රතිපදාවෙන් බැලුවොත් හැමදේම සමබර කරගෙන ජීවත් වෙන්න පුළුවන්. රඟපානවා කියලා අපිට පවුල් ජීවිතයක් නැති වෙන්න ඕන කියලා අදහසක් නැහැනෙ. පවුල තමයි එක. මම විවාහ වුණාට පස්සෙ මගේ ස්වාමියා තමයි මගේ ජීවිතයේ පළවෙනි දේ වෙන්න ඕන. ඊට පස්සෙයි රැකියාව. එතැනින් එහාට තමයි මේ හැම දෙයක්ම.

විවාහයට පෙර ඔය වගේ අදහස් දැක්වූ නළු නිළි යුවළවල් බොහොමයක් අද දෙපැත්තක...

අපි කාලයක් කෙනෙක් ආශ්‍රය කළත් වැඩක් නැහැ තීරණය ගන්නකොට මේක සදාකාලික බැඳීමක් වෙයිද කියලා හිතලා බලලා විවාහ වුණේ නැත්නම්. සමහරු අවුරුදු 10 යාළුවෙලා ඉඳලා කසාද බැන්දට පස්සේ මාස දෙකක්වත් එකට ජීවත් වෙන්න බැහැ. අපිට පුද්ගලයෙක් එකක් සම්බන්ධතාවය තියෙනවද කියන එක නෙවෙයි සම්බන්ධතාවය ශක්තිමත්ද කියන එකයි වැදගත් වෙන්නෙ.

රුක්ෂානාට ඉදිරියේ රඟපාන්න ලැබිල තියෙන චරිත මොනවද?

මට අලුත් චරිත කිහිපයක්ම ලැබුණා. ඒත් ඒවායේ වැඩ ආරම්භ කරලා මේ වෙද්දි බාගෙට නවත්වන්න සිද්ධ වෙලා. ඊට අමතරව විකාශයට නියමිත ටෙලි නාට්‍ය කිහිපයකුත් තියෙනවා. මට දිගටම මෙගා නාට්‍ය වලටනෙ සම්බන්ධ වෙන්න ලැබුණෙ. කොටස් සියයක පනහක ටෙලි නාට්‍යයක රඟපාන්න ලැබෙනවා නම් කැමතියි. ධම්මිකා සුරංජි පතිරණ
 

More News..