brand logo

උප්පැන්න විද්‍යුත් කරන්න දුන් කෝටි 26න් 25ක් අපතේ

21 January 2020

විද්‍යුත් ක්‍රමයට උපත්, විවාහ හා මරණ සහතික නිකුත් කිරීමේ වැඩසටහන සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට වෙන් කළ රුපියල් කෝටි විසිහයකින් සියයට අනූහයක් හෙවත් රුපියල් කෝටි විසිපහක් අපතේ ගොස් ඇතැයි විගණකාධිපතිවරයා ප්‍රකාශ කරයි. මේ අතර මෙම වැඩසටහනට අදාළව සහතික පත් පරිගණක ගත කිරීම සඳහා පසුගිය වසරේදී (2019) එම දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි හතළිස් දෙකක් වෙන්කර තිබුණද එම වසරේ සැප්තැම්බර් 30 වැනිදා වන විටත් එම මුදලින් රුපියල් කෝටි 39ක් ඉතිරි වී තිබූ බවත් අනාවරණය කරයි. රුපියල් කෝටි විසිපහක් අපතේ ගොස් ඇත්තේ ඉකුත් 2016 සහ 2017 වසරවලට වෙන් කළ මුදල්වලිනි. මෙම තත්ත්වය මත 2018 වසරේදී එම වැඩසටහනට මුදල් වෙන්කර නොමැති අතර 2019 වසරේදී මුදල් වෙන්කර තිබියදීත් සහතික පරිගණක ගත නොකිරීම හේතුවෙන් එම වැඩසටහනින් අනපේක්ෂිත මහජන සේවය ඉටුවී නැති බවත් විගණකාධිපතිවරයා සිය අලුත්ම වාර්තාවෙන් පෙන්වා දෙයි. මෙම විද්‍යුත් වැඩසටහන ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේ ඉකුත් 2012 වසරේදීය. එහෙත් ඊට අදාළ අන්තර්ජාල පද්ධතිය ක්‍රමවත් පරිදි 2018 වසර දක්වාත් ක්‍රියාත්මක තත්ත්වයට පත් කිරීමට නොහැකි වී ඇතැයි විගණන පරීක්ෂණයෙන් නිරීක්ෂණය වී ඇත. මෙම විද්‍යුත් වැඩසටහන ක්‍රියාත්මක වන්නේ නම් ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් තමන්ට අදාළ උපත්, විවාහ හා මරණ සහතික ලබා ගැනීමේ පහසුකම් සැලසේ. නිලන්ත මදුරාවල
 

More News..