brand logo

උප්පැන්න-මරණ-රියැදුරු-හැඳුනුම්පත් එකම වහලකට ගේන්න ජනපති සූදානමින්

31 December 2019

ජාතික හැඳුනුම්පත්, රියැදුරු බලපත්‍ර, ආගමන හා විගමන ලේඛන, උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීම ඇතුළු සියලු පුද්ගල තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ​අවධානයට යොමුව ඇත. එමගින් කාලය, ශ්‍රමය සහ විශාල මුදල් නාස්තිය අවම කර ගැනීමට හැකිවනු ඇතැයි ජනාධිපතිවරයා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග ඊයේ (30 වැනිදා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවේදී සඳහන් කළේය. එකම තොරතුරු ආයතන කිහිපයක එක්රැස් කිරීම දැනට භාවිත ක්‍රමයයි. එය එකම පද්ධතියක් යටතට ගැනීමෙන් ප්‍රමාදය වළක්වා කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබාදීමට හැකිවන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එමගින් සාවද්‍ය සහ වංචනික තොරතුරු සංසරණය වීම වළක්වා ගත හැකි බවද ජනපතිගේ අදහසයි. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අර්ධ රාජ්‍ය ආයතනවල අන්තර් සබඳතාව රටේ සංවර්ධනයේදී ඉතා වැදගත් වේ. අදාළ ආයතන ජාලගත කරමින් සම්බන්ධ කිරීමෙන් ඉහළ ඵලදායීතාවක් ළඟාකර ගත හැකිය. වර්තමානයේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ඇතැම් ව්‍යාපෘති ඒවායේ ඵලදායීතාව සඳහා සෘජුව වගකියන අමාත්‍යාංශ හෝ ආයතන හෝ වෙත පැවරීම කෙරෙහිද අවධානය යොමුවී ඇත. පාසල් පරිගණක විද්‍යාගාර ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පැවරීමේ වැදගත්කම නිදසුනක් ලෙස පෙන්වා දෙනු ලැබීය. අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අමාත්‍යාංශ ලේකම්වරුන් වන චූලානන්ද පෙරේරා, මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර යන මහත්වරු මීට එක්ව සිටියහ.
 

More News..