brand logo

උපකාරක පන්ති මාෆියාකාරයෝ ජාතික විභාගවලට දින තීන්දු කිරීම ගැටලුවක්

02 July 2020

උපකාරක පන්ති ව්‍යාපාරිකයන්ගේ අදහස් මත ඔවුන් සමග සාකච්ඡා කර ජාතික විභාගවල දින තීරණය කිරීමට එකඟතාවකට පැමිණීම ජාතික විභාගවල ස්වාධීනත්වය සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මතුකරන බව ගුරු-විදුහල්පති වෘත්තීය සංගමය පවසයි. විභාග කොමසාරිස් ජනරාල් තනතුර ස්වාධීන තනතුරක් යැයිද එවැනි නිලධාරියකු උපකාරක පන්ති ව්‍යාපාරිකයන්ගේ සාකච්ඡාවට කැඳවීම සහ ඔහු එම සාකච්ඡාවට සහභාගි වීම මෙන්ම ඔවුන් සමග තීන්දු තීරණ ගැනීම එම ධුරය බරපතළ ලෙස හෑල්ලුවට ලක් කිරීමක් යැයිද එම වෘත්තීය එකමුතුව සඳහන් කරයි. උපකාරක පන්ති ව්‍යාපාරිකයන් හා ජනාධිපතිවරයා අතර පසුගිය 29 වැනි දින පැවති සාකච්ඡාවට අදාළව නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසන එම සංගමය එහි මෙසේද සඳහන් කර තිබේ. ‘මුදල් ඉපැයීම එකම පරමාර්ථය කරගත් උපකාරක පන්ති මාෆියාව සමස්ත පාසල් අධ්‍යාපනයටම බරපතළ හානියක් අත්කර දී ඇති අතර පසුගිය කාලයේ අවස්ථා කීපයකදීම ජාතික විභාගවල බරපතළ වංචා සිදුවූයේ උපකාර පන්ති ව්‍යාපාරිකයන්ගේ තරගකාරීත්වය හා ව්‍යාපාරික අරමුණු නිසාය. ජනාධිපතිවරයා සිය බලය භාවිත කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වැඩබලන පොලිස්පති, අධ්‍යාපන ඇමැති, අධ්‍යාපන ලේකම් ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ ඉහළ නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගි කරවීම මගින් පැහැදිලි වන්නේ ආණ්ඩුවේ දේශපාලන අරමුණු වෙනුවෙන් මෙම නිලධාරීන් දඩමීමා කරගෙන ඇති බවයි. එසේම මෙය නිදහස් අධ්‍යාපනයේ ස්වාධීනත්වයටද බරපතළ අතපෙවීමක් බව පෙන්වා දෙමු. කොවිඩ්-19 වසංගත තත්ත්වය මත කල්දැමුණු උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුත්තේ අධ්‍යාපනඥයන්, පාසල් පද්ධතියේ විදුහල්පතිවරු සහ ගුරුවරු සමගය.
 

More News..