brand logo

උන්මාදයට ඉඩදීමද ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි

12 October 2019

ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුණේ 1931 දීය. ඒ වන විට ලංකාවට සර්ව ජන ඡන්දය හඳුන්වා දුන් බ්‍රිතාන්‍යයටද සර්වජන ඡන්ද බලය ලැබී ගෙවී ගොස් තිබුණේ තුන් වසරකි. දුප්පත් - පොහොසත්, උගත් - නූගත්, ගැහැනු - පිරිමි ආදී කිසිම භේදයක් නැතිව ඡන්දය දීමේ වරම ලාංකිකයන්ට ලබා දීම ගැන එදා සිටි සියලු ප්‍රභූවරු තම අකැමැත්ත ප්‍රකාශ කළහ. සර්වජන ඡන්ද බලය ලංකාවට දිය යුතුම යැයි කියූ මන්ත්‍රීවරයා වූයේ ඊ. ඒ. ගුණසිංහ පමණය. සර් ජේම්ස් පීරිස් නම් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයා කීවේ ලංකාව වැනි රටකට සර්වජන ඡන්ද බලය දීමෙන් නූගත් ජනතාව රැවටීමෙන්ද, දුප්පත් ජනතාවට අල්ලස් දීමෙන්ද එය වංචනිකයකුට ලබාගත හැකි බවය. ඡන්දය බුද්ධිමත්ව නිදහසේ පරිහරණය කිරීමට තරම් ලංකාවේ ජනතාවට උගත්කමක්, ආර්ථික හයියක් නැති බව එදා සිටි සියලු ප්‍රභූන්ගේ විශ්වාසය විය. එසේ විශ්වාස කිරීමේ වරදක් අදටත් නැති බව පෙනෙන්නේ ජනාධිපතිවරණයට නාම යෝජනා භාර දෙනතුරු සිදු වූ දෙය දෙස විමසිල්ලෙන් බැලීමෙනි. එළඹෙන ජනාධිපතිවරණයේ දී ලංකාවේ මෙතෙක් හැදුන ලොකුම ඡන්ද පත්‍රිකාව ඡන්දදායකයන් අතට ලැබේ. එහි දිග අඟල් 26 කි. එය දැමීමට වුවමනා ඡන්ද පෙට්ටි පිටරටින් ගෙන්වීමට සිදු වෙයි. එය දිගහැර බැලීමටද සෑහෙන වේලාවක් ගතවෙන බැවින් ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කර අවසන් කිරීමටද සෑහෙන වේලාවක් ගත වෙයි. මේ මහා දීර්ඝ ඡන්ද පත්‍රිකාව ගණන් කරන විට එය නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂකයන් වශයෙන්  175 දෙනෙක්වත් එකී මධ්‍යස්ථානයකට සහභාගි කළ යුතුය. ඊට අමතරව මැතිවරණ කොමිසමේ නිලධාරින්ද සහභාගි වෙති. පෙර සිරිත පරිදි පාසල් පන්ති කාමරවල මෙය කළ නොහැකි බැවින් පන්ති කාමරවල බිත්ති බිඳ දමා විශාල ශාලා නිර්මාණය කරන්නට සිදු වේ යැයි මැතිවරණ කොමසාරිස්වරයා කල්පනා කරයි. ඡන්දය ගැණ්නාට පසු පෙර තිබූ පරිදි එම බිත්ති බැඳ දීමට දෙපාර්තමේන්තුවට සිදු වෙයි. රුපියල් කෝටි 500 කින්වත් ජනාධිපතිවරණය පවත්වා අවසන් කර ගැනීම මැතිවරණ කොමසාරිස්වරයාගේ බලාපොරොත්තුවයි. තිස්පස් දෙනකුම ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බැවින් තැන්පත් කෙරෙන ඇප මුදලින් මේ වියදම් පියවා ගැනීමට සහනයක් ඇති වෙතැයි ඇසූ පැනයකට මැතිවරණ කොමසාරිස් කීවේ ඇප මුදල්වලින් ලැබුණේ ලක්ෂ 20යි. ඒක නාමයෝජනා දෙන දවසට වියදම් වෙලා ඉවරයි කියාය. ඉදිරිපත් වූ සියලු දෙනාට ත්‍රීවීලර්, ට්‍රැක්ටර්, කතුරු, පිහි ආදී සංකේතද 35 ක් වෙන් කර දී තිබිණ. ඒ සංකේත තිස්පහට ගොනා, බූරුවා, ගැරඬියා, තෝරා දෙන්න තරම් නුවණක්කාරකමක් මැතිවරණ කොමිසමට තිබී නැත. ඒ ඒ ලකුණු ජනතාවට ලබා දීම වඩාත් සුදුසුයැයි සිතූ නිසාදැයි පැහැදිලි නැත. මේ තිස්පස් දෙනා අතරින් දෙදෙනෙක් හැර සෙස්සෝ පස්සට ගොස් ඇපද රාජසන්තක වන බව හොඳාකාරවම දනිති. එහෙත් ඇතැමුන් ඉදිරිපත් වී ඇත්තේ තමන් පෙනී සිටින ඇතැම් මතවාද පක්ෂ ප්‍රතිපත්තිවලට ජනතාව අතර හිමිතැන තේරුම් කර ගැනීමටත් ඒවා ජනතාව අතර තහවුරු කිරීමටත්ය. ඇතැමුන් තම ජනවර්ගයේ හඬ නියෝජනයටය. ඒ මේ ඉදිරිපත් වී ඇති අය අතරින් කීප දෙනෙක් පමණය. සෙස්සෝ  ප්‍රධාන අපේක්ෂකයන්ගේ ඩමි වශයෙන් හෝ වෙනත් උන්මාදය හා සම්බන්ධිත කාරණයක් නිසාය. එහෙත් ඩමි ජයක් වීමද උන්මාදයට ඉඩදීමද ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. ජනතාවට මෙබඳු ප්‍රජාතන්ත්‍රවාදයකින් ලැබෙන දෙයක් වේද? පසුගිය කාලයේ නාගානන්ද කොඩිතුවක්කු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට සූදානම් වූයේය. ඔහුට දෙස් විදෙස් බොහෝ දෙනෙකුගෙන් ලැබුණේ හොඳ චියර් එකකි. ඔහු ජනාධිපති වූ වහාම පාර්ලිමේන්තුවේ 225ම පන්නන බව කීවේය. ජනාධිපති වුව වරදක් කළොත් එල්ලා මරණ බව කීවේය. ඔහු පෙනී සිටියේ ලක් පොළොවේ තිබෙන සියලු දූෂණ වංචා දුරු කර සුපිරිසිදු රාජ්‍ය තන්ත්‍රයක් බිහි කිරීමටය. දේශපාලනයේ ඉන්නා දූෂිතයන් පට්ටා ගැසූ බැවින් නාගානන්දව තරුණයන් විශ්වාස කළේ ලොව ඉන්නා හොඳම සුදනා වශයෙනි. ලොව නොයෙක් රටවල ඉන්නා තරුණයන්ගේද නාගානන්ද වීරයෙක් විය. එහෙත් දැන් නාගානන්ද දූෂණය දුරලීමට ජනාධිපතිවරණයට එන්නේ නැත. ඔහුගේ අපේක්ෂකයත්වය මහේෂ් සේනානායක උදුරාගත් බව නාගානන්ද කියයි. විශ්‍රාම ගිය හමුදා නිලධාරියකු අපේක්ෂකත්වය උදුරා ගත්තා නම් නාගානන්ද පාර්ලිමේන්තුවේ 225 ම පන්නා ජනාධිපතිව එල්ලන්නේ කෙසේ දැයි කිසිවෙක් සිතුවේ නැත. එහෙත් අවංකකම වෙනුවෙන් නාගානන්දට දුන් මිලියන 11 ක් දැන් ඔහු සතුය. මේ වැලෙන් වැටුන ටාසන්ලා වෙත බව මේ වැකියෙන් අපි මීට පෙර පෙන්වා දුන්නෙමු. දැන් මේ අය පස්සෙන් ගිය අයට සිදුව ඇත්තේ එයමය. මේ ජනාධිපතිවරණයට නාම යෝජනා ලබා දුන් ලැයිස්තුවේ මෙබන්දෝ බොහෝය. වැසි වස්සවා ඇමෙරිකාව වුව යට කරන්නට පුළුවන් යැයි කියා ජනාධිපතිවරණයට නාම යෝජනා දීමට තවකෙකු මාස ගණනකට පෙර සරම කැහැපට ගැසුවේය. එහෙත්  මාධ්‍ය හෙළිදරව් කිරීම් හමුවේ ඔහු ආවේ නැත. මේ රටේ ජාතික අයවැයේ හිඟය බිලියන 700ට වැඩිය. එය තමන්ට තම පුද්ගලික මුදලෙන් ගෙවිය හැකි බව එකෙක් කියයි. රටේ රාජ්‍ය නායකයාගේ වැටුප රුපියල් එක්ලක්ෂ විසිදහසකි. මේ රුපියල් එක්ලක්ෂ විසිදාහේ පඩිය ගන්නේ නැතිව භාණ්ඩාගාරයට යවන්නේ රටේ දුප්පතා වෙනුවෙන් බව ප්‍රධාන අපේක්ෂකයා කියයි. නාගානන්දට රටේ දූෂණය, වංචාව දුරු කළ හැකි යැයි විශ්වාස කළ ජනතාව මේ කතාව විශ්වාස නොකර හිඳීද? අප ඉන්නේ දරුවෙකුට වෘෂණ කෝෂ දෙකක් දුන්නා යැයි කියූ දීගොඩ කුමාරගේ හාස්කම් විශ්වාස කරන රටකය. එබැවින් එදා සර් ජේම්ස් පීරිස්ලා සර්වජන ඡන්දය කපටින්ට ජනතාව රවටා ලබාගත හැකි බව එදා සිතීමේ වරදක් අද ද පෙනෙන්නේ නැත.
 

More News..