brand logo

උදෑසන රැස්වීමට නොගිය උ.පෙළ සිසුවා පාසලෙන් නෙරපයි

22 September 2020

උදෑසන රැස්වීමට සහභාගි නොවීම හේතුවෙන් අ/කලංකුට්ටිය මහ විද්‍යාලයේ උසස් පෙළ සිසුවකු එම විදුහලේ විදුහල්පතිවරයා විසින් පාසලෙන් අස්කර ඇත. ගල්කෙම කලංකුට්ටිය ලිපිනයේ පදිංචි ඩී.එම්. ඔක්ෂාන් දසනායක වන දරුවා ලබන වසරේ උසස් පෙළ විභාගයට පෙනීසිටීමට නියමිතය. ඔක්ෂාන්ගේ අසනීප තත්ත්වයක් නිසා ඔහු දින කිහිපයක් පාසලට නොගොස් ඇති අතර පසුගිය 14 සඳුදා දිනයේ දෙමාපියන් විසින් ඔහු පාසලට ගෙනවිත් ඇරලවා තිබිණි. ඔහුගේ අසනීප තත්ත්වය තවමත් පැවැතීම නිසා ඔහු උදෑසන රැස්වීමට සහභාගි නොවී පන්ති කාමරයට වී සිට ඇති අතර, ඒ ​හේතුවෙන් විදුහල්පතිවරයා විසින් ඔහුට දඬුවමක් ලෙස දෙමාපියන් පාසලට ගෙන්වා ඔහුව පාසලින් අස්කර යවා තිබේ. පාසලේ විදුහල්පතිවරයාගෙන් මෙම දරුවාට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් දෙමාපියන් තඹුත්තේගම කලාප කාර්යාලය හා අනුරාධපුර පළාත් අධ්‍යාපන කාර්යාලය සහ මානව හිමිකම් කොමිෂන් සභාව දැනුවත් කර ඇති අතර තවමත් කිසිදු පිළිතුරක් නොලැබුණු බව දෙමාපියන් පවසයි. දරුවා පාසලේ විභාගවලදී හය ශ්‍රේණියේ සිටම පළමු ස්ථානය හා පස්වන ස්ථානය අතර ලකුණු මට්ටම්වල සිටින අතර ඔහු බාහිර දක්ෂතාවලටද ජයග්‍රහණ රැසක් ලබා සිටී. තවද ඔහු පාසලේ බාල දක්ෂ කණ්ඩායමට සම්බන්ධව සිටි අතර වසර තුනක්ද ශිෂ්‍ය නායකයකු ලෙස මෙම පාසලේ කටයුතු කර තිබේ. ප්‍රගති වාර්තා පොතේ අවසානයේද සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු දරුවාගේ ක්‍රියාකලාපය හොඳින් ඇති බව පන්තිභාර ගුරුවරයාද සටහනක් දමමින් පෙන්වා තිබේ. මෙම සිද්ධියෙන් අසාධාරණයට ලක් වූ ඩී.එම්. ඔක්ෂාන් දසනායක සිසුවා අප සමග අදහස් දක්වමින්, ‘මට උණ සෙම්ප්‍රතිශ්‍යාව හැදිලා ගෙදරට වෙලා දවස් දෙක තුනක් හිටියා. පස්සේ අසනීප ගතිය ටිකක් අඩු වුණ නිසා අම්මා මාව ඉස්කෝලේට ඇරලුවා. ඉතින් අසනීප ගතිය නිසා මම උ​දේ රැස්වීමට නොයා පන්ති කාමරයට වෙලා හිටියා. ඊට පස්සේ ලොකු සර් ඇවිත් කිව්වා රැස්වීමට එන්න කියලා. ඊට පස්සේ මම කිව්වා අනේ සර් මට ටිකක් අමාරුයි. මං පන්තියට වෙලා ඉන්නම් කියලා පස්සේ ලොකු සර් මට කිව්වා එහෙම බෑ දඬුවමක් විදිහට රැස්වීමට ඇවිල්ලා කතාවක් කරන්න කියලා. ඒත් අසනීපගතිය වැඩි නිසා මං ආයෙත් කිව්වා මට අමාරුයි සර් මං වෙන දවසක් කතාව කරන්නම් කියලා. ඊට පස්සේ මාව ඔෆිස් එකට එක්ක ගිහින් මගෙන් අම්මගේ නොම්බරේ ඉල්ලගෙන අම්මලා ගෙන්නගෙන මාව ඉස්කෝලෙන් අස් කළා. මම කාටවත් කරදරයක් කරන කෙනෙක් නෙවේ. හොඳම ප්‍රතිඵල ගන්න අය අතරේ මමත් ඉන්නවා. මගෙත් එක්ක හැමෝම යාළුයි. ඉතින් මට ඕනෑ ආයේ ඉස්කෝලේ යන්න. මාව ඉස්කෝලටෙ ආපහු දාලා දෙන්න. මේ සම්බන්ධයෙන් අ/ කලංකුට්ටිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වන මිහිඳුරත්න මහතාගෙන් අප කළ විමසීමේදී ඔහු පවසා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් පැවැසිය නොහැකි බවය. මෙලෙස දරුවා පාසලෙන් ඉවත් කර දැනට සතියක් පමණ ගත වී ඇත. ඔක්ෂාන් සිසුවා නැවත තම පාසලට යාමට ඇඟිලි ගනිමින් සිටී. අසාධාරණයට ලක්වූ දරුවා සහ දෙමාපියන් ඉල්ලා සිටින්නේ නැවතත් එම පාසලේම අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සලසා දෙන ලෙසයි. ප්‍රදීප් රණසිංහ - කැකිරාව
 

More News..