brand logo

උදාවන්නේ තරුණ උද්‍යෝගයෙන් යුත් දශකයයි -අගමැති මහින්ද රාජපක්ෂ

01 January 2020

අදින් (01 වැනිදා) උදාවන විසිඑක්වැනි සියවසේ තුන් වැනි දශකය ශ්‍රී ලංකාවේ දශකය බවට පත්කර ගනිමු යැයි අගමැති මහින්ද රාජපක්ෂ නව වසරේ සිය සුභ පැතුම් පණිවුඩය මගින් සඳහන් කරයි. අගමැතිවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. නව වසරේ උදාවත් සමග අපි 21 වෙනි ශත වර්ෂයේ තුන වැනි දශකයට පා තබමු. මේ ආකාරයට ශ්‍රී ලංකාව නව දශකයකට පා තබන්නේ පසුගිය මාසයේ අතිවිශාල ජන වරමකින් නව ජනාධිපතිවරයෙක් බලයට පත්වී තිබෙන පසුබිමකය. මේ බල පෙරළියත් සමග අලුත් ලංකාවක් ගැන බලාපොරොත්තුවක් අපේ තරුණ පරපුර අතර පැතිරී ගොස් ඇත. මේ රැල්ලේ වැදගත්ම ලක්ෂණය වන්නේ ආණ්ඩුවේ කිසිම මැදිහත්වීමකින් තොරව රටපුරාම තරුණ තරුණියන් ස්වෙච්ඡාවෙන්ම සංවිධානය වී අලුත් රටක් ගොඩනැගීම සඳහා නායකත්වය ගෙන තිබීමයි. රට පුරාම පොදු ස්ථානවල බිත්ති පිරිසුදු කොට ඒවායේ ආකර්ෂණීය චිත්‍ර ඇඳීමට මෙම තරුණයන් පෙලඹී සිටින ආකාරය අපි දකිමු. මෙයින්, දවස් ගණනක් ඇතුළත මුළු ලංකාවම වෙනස් විය. තවත් තරුණ පිරිස් මේ ආකාරයටම ස්වෙච්ඡාවෙන්ම සංවිධානය වී ගොවිතැන් කටයුතු සම්බන්ධයෙන් අත්හදා බලමින් සිටින බවත්, සමාජ ජාලාවල තැන් තැන්වල පළවී තිබෙනු මම දැක ඇත්තෙමි. මේ සෑම දෙයක්ම සිදුවෙමින් පවතින්නේ සමාජ ජාල හරහා ඇතිවන සබඳකම් ඔස්සේය. තමන්ගේ රට තමන් විසින්ම ගොඩනගන යන අධිෂ්ඨානයෙන් උපන් මේ තරුණ උද්‍යෝගය අලුත් දශකයකට අවතීර්ණ වන අපට ඇති වටිනාම සම්පතයි. මීට කලින් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමටද මේ ආකාරයටම තරුණයන් අතර උද්‍යෝගයක් ඇතිවිය. එදා සිටි තරුණයන් පස්ස බැලුවේ කොටි සංවිධානය පරාජය කිරීමෙන් පසුව පමණි. අද රට ගොඩනැගීමට ඇති තිබෙන මෙම උද්‍යෝගයෙන් යුතු තරුණ පරපුරත් පස්ස බලන්නේ ඔවුන් බලාපොරොත්තු වන සෞභාග්‍යමත් දේශය ගොඩ නැගීමෙන් බව මගේ විශ්වාසයයි. එය මගේ බලාපොරොත්තුවයි. විසිඑක්වන සියවස ආසියාවේ සියවස හැටියට ලෝක ප්‍රජාව හඳුනාගෙන සිටී. මෙම ජනවාරි පළමු වැනිදා උදාවන විසිඑක් වන සියවසේ තුන් වැනි දශකය ශ්‍රී ලංකාවේ දශකය බවට අපි පත්කර ගනිමු. කවදා හෝ 21 වන සියවසේ මේ තුන් වැනි දශකය දෙස ආපසු හැරී බලන විට ලෝකය එය හඳුනාගත යුත්තේ ශ්‍රී ලංකාව ලෝක ප්‍රජාවේ කරළියට ආ දශකය හැටියටයි. එළඹෙන්නා වූ 2020 නව වසර හා ආරම්භ වන නව දශකය සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු ඉටුවන, රට ගොඩනගන යුගයක් වේවායි මම ප්‍රාර්ථනා කරමි.
 

More News..